අධිකරණයට ඇඟිලි ගහන්න විධායකයට ඉඩදෙන්නේ නෑ…! – සාලිය පීරිස්…

March 20, 2023 at 9:29 am | by emanisa.lk

කිසි ම කැළලක් නොමැති පොලිස් නිලධාරියෙකු පොලිස්පති ධූරයට පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

“අපි හැමෝම නීතිඥ වෘත්තිය ශක්තිමත් කරන්න කටයුතු කරන්න ඕනෑ. ඊළඟ මාස කීපයේ මෙරට නීතියේ ආධිපත්‍යයට බරපතළ ප්‍රශ්න කීපයක් මතුවෙමින් තිබෙනවා. අපි දකින ප්‍රධානම තර්ජනය තමයි අධිකරණයේ ස්වාධීනත්වයට ඇති වී තිබෙන සහ ඇති කරමින් යන බාධාවන්.

අධිකරණය විසින් ලබාදී තිබෙන ඇතැම් නියෝගවලට අවනත නොවී විනිශ්චකාරවරුන් පීඩාවට පත් කරන්න විධායකය උත්සාහ කරනවා. වෘත්තියක් ලෙස එයට අපි එරෙහි වෙන්න ඕනෑ. විධායකයට ඇඟිලි ගහන්න ඉඩ දෙන්න බැහැ. අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් විනිශ්චකාරවරුන් තීන්දු දෙනකොට ඒ පිළිබඳව වෙනත් උපක්‍රම යොදාගෙන විනිශ්චකාරවරුන්ට හිංසා කරන්න ඉඩ දෙන්න බැහැ.

අධිකරණ තීන්දුවලට විධායකය අවනත වුණේ නැත්නම් අපි කොහොමද සාමාන්‍ය ජනතාවගෙන් එවැන්නක් බලාපොරොත්තු වන්නේ? විධායකය සිදු කරන්නේ ඉතාමත් නරක ආදර්ශයක්. වෘත්තිකයන් හැටියට ඊළඟ මාස කීපය තුළ අප ඊට එරෙහි වෙන්න ඕනෑ. විධායකය මේ ආකාරයෙන් අධිකරණයට මැදිහත් වෙන එක ගැන අපේ හඬ නගන්න ඕනෑ. අපි ගිය සතියේ සෙනසුරාදා අපි විධායකයට දැනුම් දුන්නා අධිකරණ කටයුතුවලට ඇඟිලි ගහන්න එපා කියලා.

විධායකය අධිකරණයට අයුතු ලෙස මැදිහත් වෙන්න උත්සාහ කරන හැම වෙලාවෙම නීතිඥ ප්‍රජාව එයට ශක්තිමත්ව එරෙහි වී තිබෙනවා. ඒ සඳහා අපිට ශක්තිමත් නීතිඥ ප්‍රජාවක් ඕනෑ. නීතිඥවරුන්ගේ ශක්තිය ලැබුණ නිසා තමයි මට පහුගිය කාලේ හොඳට වැඩ කරන්න පුළුවන් වුණේ.

රටේ නීති ආධිපත්‍යය වෙනුවෙන් මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්න ඕනෑ. අපි සියලු දෙනාගේම වගකීම තමයි ඉස්සරහටත් නීතිඥ ප්‍රජාවක් හැටියට වෘත්තීය හැටියට අපි ශක්තිමත්ව කටයුතු කිරීම. අධිකරණයේ ස්වාධීනත්වයත් එක්ක සෙල්ලම් කරන්න විධායකයට විධායක ජනාධිපතිවරයාට ඉඩ දෙන්න බැහැ.

ඊයේ අපි ජනාධිපතිවරයාට තව ලියුමක් යැව්වා පොලිස්පති පත් කරනකොට මහජන විශ්වාසය ඇති නිලධාරියකු පත් කරන්න කියලා. විවිධ චෝදනාවලට ලක් වුණු මූලික අයිතිවාසිකම් නඩු තිබෙන නිලධාරියකු පත් කරන්න එපා කියල. අපි කියන්නේ කිසිම කැළලක් නැති නිලධාරියකු පත් කරන්න කියලයි. පොලිස් සේවයේ සාමාන්‍ය අයකුට වුණත් මූලික අයිතිවාසිකම් නඩුවක් තිබෙනවා නම් උසස්වීමක් දෙන්නේ නැහැ. පොලිස්පති ධුරය ඉතා වැදගත්. පොලිස් සේවය ගැන මහජන විශ්වාසය හීන වෙලා. ඒක වළක්වන්න හොඳ නිලධාරියකු පත් කරන්නැයි ඉල්ලා අපි ලියුමක් යැව්වා.”

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එසේ පැවසුවේ මාතර සහ මොරවක නීතිඥ සංගම් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් වැලිගම පැවැති නීති සැසි 50 වැනි සම්මේලනයට සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *