සාක්ෂි පටිගතකර හසු වූ උලමාගෙන් පාස්කු කොමිසමට වටලප්පන් සන්තෝසමක්!

December 11, 2020 at 8:16 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට ඊයේ (10) පැමිණි සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සැකකටයුතු පාර්සල් කිහිපයක් කොමිෂන් සභාව ඇතුළට රැගෙන ගොස් ඇත. පසුව ඒ පිළිබඳ සොයා බැලීමේ දී එම පාර්සල්වල තිබී ඇත්තේ වටලප්පන් බව තහවුරු වී තිබේ.

මීට පෙර අවස්ථාවක දී ද එම සංවිධානයේ වැඩබලන ලේකම්වරයකු ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබාදුන් සාක්ෂිය ජංගම දුරකථනයකින් රහසිගතව පටිගත කරමින් සිටිය දී හඳුනාගන්නට යෙදුණි.

රිස්වි මුෆ්ති කොමිසම් සභාවට ඇතුළු වන අවස්ථාවේ බාහිරින් ආවරණය කරන ලද කිසිවක් සභාව ඇතුළට රැගෙන යන අයුරු මාධ්‍යවේදීහු නිරීක්ෂණය කර ඇත.

මේ පිළිබඳව කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ එම පාර්සල් පරීක්ෂාවට ලක් කළ අතර, එහි වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය වූ බවයි. එය කුමකට රැගෙන යන්නේ යැයි විමසූ විට ‘කොමිසම් සභාවේ නිලධාරීන්ට දීමට රැගෙන යන බව’සඳහන් කළ බවයි.

පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ වෙනත් දිනවල දී ද කොමිසම් සභාවට රජයේ නීතිඥ මණ්ඩලය ආහාර රැගෙන යන බැවින් මෙම පාර්සලය රැගෙන යාම සම්බන්ධයෙන් ද විරුද්ධ නොවූ බවයි. කොමිසම් සභාවේ සේවකයකු ද පැමිණ එම පාර්සල් අභ්‍යන්තරයට ගෙන යාමට සහාය වූ බව ​පොලිසිය පවසා ඇත.

කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය වූයේ අදාළ පාර්සල් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමාගන්නා ආකාරයයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස