සම්ප්‍රේෂණ ඒකාධිකාරයට මුවා වෙලා ලංවීම සුළං සූර්ය බලශක්තියට වළ කපනවා…! – මහාචාර්ය චරිත හේරත්…

August 30, 2022 at 9:20 am | by emanisa.lk

පනතින් ලැබී ඇති විදුලි බල සම්ප්‍රේෂණ ඒකාධිකාරි බලය පාවිච්චි කර ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික අංශයේ සාධනීය පුනර්ජනන විදුලි ව්‍යාපෘති යටපත් කරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් චෝදනා කරයි.

ඊයේ (29) පාර්ලිමේන්තුවේදී විදුලි බිල වැඩි කිරීම පිළිබඳ විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“අපේ රටේ මේ මොහොතේ ඉතා ම තීරණාත්මක අවශ්‍යතාවක් වශයෙන් තියෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට එක පැත්තකින් මුහු වෙන්න ඉඩක් ලැබෙන අවස්ථාවක් විධියට මේ විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ කාරණය අපි සැලකිය යුතුයි.

විදුලි බල ගාස්තු සහ විදුලි නිෂ්පාදන පිරිවැය අතර බරපතළ ගැටලුවක් අපේ රටේ තියෙනවා. මේක මෙහෙම වෙලා තියෙන්නේ දේශපාලන තීරණ මත මිල සම්බන්ධ තීරණය කල් දැමීම නිසා. මේක අද ගොඩගැසී තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේක සමාජයට විශාල බරක් ලෙස දැනුනට ක්‍රියාදාමයක් ලෙස ගත් කල මට හිතෙන්නේ අනිවාර්යයෙන් ම සිදු කරන්න අවශ්‍ය ම වැඩසටහනක්. නමුත් ඒක සිදුකරන්න දේශපාලන අධිකාරීන් ඒ ඒ කාලවල කටයුතු කොට නැති නිසා එක තැනක ගැටගැහිලා තිබිලා ඒවා මුදාහරින්න වෙලා තියෙන්නේ.

ඒ නිසා මම හිතනවා මේක අපි රට පැත්තෙන් කල්පනා කරන්න ඕනේ කියලා. දේශපාලන කෝණයෙන් ප්‍රශ්න දෙස බලනවාට වඩා ඉන් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නය අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ කියලා විශ්වාස කරනවා.

විශේෂයෙන් ම මේ විදුලි බල මණ්ඩලය, විදුලි බල නිෂ්පාදන සම්බන්ධ ප්‍රශ්නය දේශපාලන කෝණයෙන් එහාට ගිහිල්ල වෘත්තීමය වශයෙන් බලන්නත් ඒ වගේ ම ලාභ පාඩු දෙක මත පදනම් වෙලා මේ පිළිබඳ තීරණ ගන්නත් අපි රටක් විධියට යා යුතුව තියෙනවා.

අපි කෝප් කමිටුව ඇතුළේ මේ විදුලිබල මණ්ඩලයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළා. අපේ රටේ විදුලි ජනනය ගැන කතා කළොත් ඒ සඳහා සම්බන්ධ වන පෞද්ගලික අංශයේ සමහර අයට අවශ්‍ය වන විධියට ප්‍රතිපත්ති සහ නීති වෙනස් කරමින් ගිය ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා අපේ රටේ විදුලි ජනනය සම්බන්ධව අලුතින් හොයන්න වෙලා තියෙනවා.

ඒ වගේ ම විදුලි සම්ප්‍රේෂණ ඒකාධිකාරිය 2009 විදුලිබල පනතෙන් ලැබිලා තියෙන්නේ විදුලිබල මණ්ඩලයටයි. ඒ නිසා විදුලිය බෙදා හරින්න පෞද්ගලික අංශයට අයිතියක් නෑ. ඒ නිසා බෙදා හැරීම් ඇතුළේ හැම වෙලාවේ ම පෞද්ගලික අංශයෙන් ගේන ඕනෑ ම යෝජනාවක් හිර වෙනවා. විශේෂයෙන් ම පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති හුඟක් හිර වෙලා තියෙන්නේ.

ඒ ව්‍යාපෘති සිදුකළාට සම්ප්‍රේෂණය පනතෙන් ම තියෙන්නේ විදුලි බල මණ්ඩලයට නිසා පනත ඇතුළේ ඒක වෙන කාටවත් අයිති නැති නිසා විදුලි බල මණ්ඩලයට පුළුවන්කම තියෙනවා ඒ පුනර්ජනනීය ව්‍යාපෘති කල් දාන්න, අතපසු කරන්න, පසුපසට තල්ලු කරන්න. ඒ නිසා මේක නිවැරදි කරන්න අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *