විරෝධතා පළ දරයි..! රටේ කුළුබඩු සන්නාමය සුරැකේ…! ප්‍රති-අපනයන ගැසට්ටුව හකුළා ගනී..!

March 12, 2024 at 10:34 am | by emanisa.lk

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති-අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟු, හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති-අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ ගැසට් නිවේදනය සම්බන්ධව තම විරුද්ධත්වය පළ කර තිබේ.

විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රති-අපනයනය සඳහා ආනයනයට අවසරදීම මඟින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එම නිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත. එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ප්‍රමිතිය සඳහා මෙමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමටත්, ප්‍රති-අපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයා කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දෙමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *