වැටුප් සහ බදු වැඩි කරන ඇස්බැන්දුම් අයවැයක් සූදානම්!

March 3, 2019 at 10:18 am | by admin

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් බදු, භාණ්ඩ මිල සහ වැටුප් වැඩිවන බව වාර්තා වේ.

අනිද්දා (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අයවැය මැතිවරණය ඉලක්ක කර ඉදිරිපත් කරන අයවැයක් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නියමිත බදු වර්ග තුනක් ඉහළ දැමීමත්, එමගින් භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යෑමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුව රුපියල් බිලියන 115ක පමණ නව ආදායම් සපයා ගැනීමට උපදෙස් දී ඇති බැවින් බදු ප්‍රතිශතද ඉහළ දමනු ඇත. ඒ අනුව වාහන හා සියලු ආනයනික භාණ්ඩ මිල ඉහළ යෑමට ඉඩ තිබේ. සිගරැට් හා මත්පැන්ද අයවැයෙන් මිල නැංවෙනු ඇතැයි කියැවේ.

මේ අතර වැටුප් වැඩි කිරීම හෝ වැටුප් වර්ධකයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී ඇත. රජයේ සේවකයන්ට රුපියල් 3000/-කට නොඅඩු වැටුප් වර්ධකයක්ද, විශ්‍රාමිකයන්ට රුපියල් 1500/-කට නොඅඩු වැටුප් වර්ධකයක්ද හිමිවීමට ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම වැඩුප් වර්ධන එලඹෙන අගෝස්තුවෙන් පසු ලබාදීමට තීන්දු කර ඇති බවද සඳහන්වේ.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව සමයේ ඉහළ දැමුණු වාහනවල බදු අගයෙහි වෙනසක් කරමින් දෙමුහුන් (හයිබ්‍රිඩ්) හා වෑන් රථවල මිලද අඩු කිරීමට නියමිත අතර, ඒ අනුව එන්ජින් ධාරිතාව මත (1000cc – 1500cc) දක්වා වූ වාහන කාණ්ඩයේ මිල මේ අනුව වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

එලඹෙන 05 වැනි දින සවස 2.00ට ඉදිරිපත් කරන අයවැයෙහි දෙවැනි කියවීම 6 වැනිදා සිට 12 වැනිදා දක්වා දින හයකුත්, එහි ඡන්ද විමසීම 12 වැනි දිනයේ සවස 5.00ට පැවැත්වීමට නියමිතය. කාරක සභා අවස්ථාව 13 වැනි දින සිට අප්‍රේල් 05 වැනි දිනය දක්වා දින 19ක් පැවැත්වෙන අතර, ඡන්ද විමසීම අප්‍රේල් 05 වැනි දින සවස 5.00ට පැවැත්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *