ව්‍යවස්ථාව සංශෝධනයට ජනතාව ජනාධිපතිට පැහැදිලි බලයක් දුන්නා! – අනුර

August 9, 2020 at 6:22 pm | by emanisa.lk

එක නීතියක්, එක රටක් තේමාව යටතේ රට පවත්වාගෙන යෑමටත්, ජනතාවට පොරොන්දු වූ ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමටත් අපේ රටේ මහ ජනතාව ජනාධිපතිවරයාට පැහැදිලි ජනවරමක් ලබාදී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

පෙරේදා (07) බත්තරමුල්ලේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අපේ රටේ මේ මොහොතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව යල්පැන ගිය එකක් බව තම පක්ෂය ද පිළිගන්නා බවත්, ජනාධිපතිවරයා මැතිවරණයට පෙරාතුව සඳහන් කළ පරිදි නිසැකවම ව්‍යවස්ථාව වෙනස් කරනු ඇතැයි තම පක්ෂය විශ්වාස කරන බවත් අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

එම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ගේ නිදහසත්, නීතියේ ආධිපත්‍යයත් වඩාත් සුරක්ෂිත කරලීමට රජය කටයුතු කළ යුතු යැයි ඔහු තවදුරටත් කීය.

මෙවර මැතිවරණයේදී තම පක්ෂයේ ප්‍රතිඵලය අඩුවී ඇති බව ඉතා පැහැදිලි බවත් අග්‍රාමාත්‍යවරයාත්, විපක්ෂ නායකවරයාත් පිළිබඳ මේ අවස්ථාවේ පුරෝකථන සිදු නොකරන බවත් ඔහු කීය.

විපක්ෂයේ නිශ්චිත කාර්ය භාරය පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන් පිටතත් සිදු කිරීමට ඇති බැවින් ඒ කොටස ඉටු කිරීමට තමන් ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බව කී අනුර කුමාර දිසානායක රජයට ලැබුණු ප්‍රතිඵලය සමග තවදුරටත් වංචනිකයන්ට දඬුවම් ලබාදීම, පරිසරය සුරැකීමට, මානව හිමිකම් ස්ථාපිත කිරීමට පසුබට වීමට අවැසි නැතැයි කීය. වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී ජනතාව ඉදිරියට ගොස් තමන්ගේ මතයට ජනතාව එකඟ කරගන්නා බව ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස