වංචාවට දූෂණයට එරෙහිව දිගට ම හඬ නඟනවා..! පක්ෂ මාරුව කඩේ යාම මගේ සිලබස් එකේ නෑ…! – රංජන්….

August 26, 2022 at 7:58 pm | by emanisa.lk

තමන් වෙනස් වී, බිය වී හෝ නොමැති බවත් පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම තමන්ගේ සිලබස් එකේ නොමැති බවත් ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

කොන්දේසි සහිත සමාවක් හිමි වූ තමන්ට පරණ පුරුදු විදිහට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බවත් රාමනායක සඳහන් කළේය.

නිදහසේ කථා කළ තමන්ට ඒ නිදහස අහිමි වුවත් හැකි උපරිමයෙන් වංචාවට දූෂණයට එරෙහිව තමන් ගෙන ගිය හඬ ගෙන යන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (26) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

ඉදිරි කාලය තුළ කලා කටයුතු වෙනුවෙන් වැඩි නැඹුරුවක් සිදුකරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

තමන්ට ලබාදුන් නිදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පුද කරන බවත් ඔහු එහිදී පැවසීය.

එමෙන්ම කොරෝනා වසංගතය වැළඳී බන්ධනාගාරගතව ඉතා අසීරු සමයේ දී සිට තමන් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළකරන බවත් හෙතෙම පැවසීය.

තමන්ට ජනතාවගෙන් විශාල ආදරයක් හිමිව ඇති බවත් කිසිදු අවස්ථාවක වරදාන වරප්‍රසාද වෙනුවෙන් ජනතාව ලබාදුන් එම ආදරය අහිමි කර ගන්නේ නැතැයිද රංජන් රාමනායක තව දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *