රසායනික පොහොර උද්ඝෝෂණ රැල්ල ජවිපෙ ද…? එක ම පෝස්ටරේ රට පුරා උද්ඝෝෂණවලට ගියේ කෙසේ ද…?

July 12, 2021 at 10:00 am | by emanisalk

ශ‍්‍රී ලංකාවේ කෘෂි බිම් ප‍්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 15කි. ඉන් වසරකට වගා කරන ප‍්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 13ක් පමණ වේ. 2017 දී ශ‍්‍රී ලංකාවට ආනයනය කළ රසායනික පොහොර ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකි. එහෙත් 2021 වසර වන විට රසායනික පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1.2ක් බවට ගණනය කර තිබේ. අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙන්නේ ඇතැම් පොහොරවල ප‍්‍රමිතිය අඩුකම සහ ඵලදාව වැඩිපුර ලබා ගැනීමේ අරමුණෙන් ගොවීන් වැඩිපුර පොහොර භාවිත කරන බවය.

නුවරඑළියේ එළවළු සහ අර්තාපල් වගාවන් සඳහා ගොවීන් අනුමත පොහොර ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් භාවිත කරන බවත්, වැලිමඩ ගොවීන්ගේ පොහොර භාවිතය අනුමත ප‍්‍රමාණයට දෙගුණයක් වැඩි බවත් අධ්‍යයන මගින් අනාවරණය වී තිබේ. ඇත්තෙන්ම මේ සිදුවන්නේ කුමක්ද? සම්පූර්ණ පොළොව විනාශ කිරීමක් නොවේද?

රසායනික පොහොර අවශ්‍ය බවට උද්ඝෝෂණ කරන්නෝ සැබවින්ම ගොවීන්ද නැත්නම් වෙනත් පක්ෂ සාමාජිකයන්ද යන්න ගැන බලවත් සැකයක් මතුවේ. හොඳින් මුද්‍රණය කළ එකම ආකාරයේ පෝස්ටර් රට පුරා ම ගොවි උද්ඝෝෂණවල දක්නට ලැබේ. මෙහි සැඟවුණු අරුත කුමක්ද? රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට ජනපතිවරයා ගත් තීන්දුව කිසිම විටක ආපසු හැරවිය යුතු නැත. එය ඉදිරි පරම්පරාවේ යහපත වෙනුවෙන් ගත් සුවිශේෂී තීන්දුවකි.

රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ප‍්‍රකාශ කර තිබේ. රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසි ලැබූ පාර්ශ්වයන්ගේ කූට පාර්ශ්ව නොයෙකුත් විෂම පුවත් මවන බව රහසක් නැත. නමුත් ඉතා අවාසිදායක වුවත් කාබනික පොහොර විප්ලවය ඉදිරියට ගෙන යා යුතුමය.

1960 හරිත විප්ලවය ලෝකයට හඳුන්වාදීමත් සමග සම්ප‍්‍රදායික ගොවිතැන වාණිජ ගොවිතැනක් බවට පත්වුණු අතර කෙටි කලකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම එහි මූලික අරමුණ බවට පත්විය. දෙමුහුන් බීජ හඳුන්වා දීම, රසායනික පොහොර හඳුන්වා දීම, කෘමි නාශක, වල් නාශක සහ දිලීර නාශක හඳුන්වා දීම ක‍්‍රියාවට නැගෙන්නේ ද මෙම ක‍්‍රමවේදය පවත්වාගෙන යෑමට අවශ්‍ය අවශේෂ කාරණයක් ලෙසිනි.

නමුත් මේ හරහා සිදුවන්නේ වස කැවීම නොවන්නේද? පස් නිසරු වීම නිසා කන්නයක් කන්නයක් පාසා වැඩියෙන් පොහොර යෙදීමට සිදුව ඇත. දිනකට පිළිකා රෝගීන් 80 ක් සොයාගන්නෙත් එයින් 38ක් එක දිනකදී මිය යන්නෙත් කවර හේතුව නිසාද? සියල්ලට හේතුවන්නේ වස විස ආහාර නොවන්නේද? වාර්තාවන් වැඩිම පිළිකා රෝගීන් පිරිමින් වන බව වාර්තා අනුව පෙනී යයි. ඒ සියල්ල අතරේ රසායනික පොහොරම අවශ්‍ය බව කියමින් කෑ ගසන්නේ මුග්ධයන්ද?

ඇත්තෙන්ම කාබනික පොහොර භාවිතය පරිසර හිතකාමී කෘෂිකර්මයෙහි යෙදීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් වන අතරම, විශේෂයෙන්ම ගොවීන් අතර පැතිර යමින් පවතින වකුගඩු රෝගය වැනි සෞඛ්‍ය ප‍්‍රශ්න පිළිබඳ සලකා බැලීමේදී ගොවීන් අතර කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. එහෙත් අනුරාධපුරයේත් පොහොර ඉල්ලා කෑ ගසන පිරිස් වෙති. කිසිම ප‍්‍රමිතියක් නොමැතිව බහුජාතික සමාගම්වලට හිතුමතේ තත්ත්වයෙන් බාල, බැරලෝහ සහිත කෘෂි රසායන මෙරටට ආනයනයට ඉඩ දීම මඟින් අද වන විට අපගේ පරිසර පද්ධති විනාශ වී හමාරය.

එහෙත් කාබනික පොහොර යනු ශාක හෝ සත්ත්ව කොටස් ආශ‍්‍රිතව ජනනය වී ජීර්ණය හෝ වියෝජනය වීමෙන් පසු ශාක වර්ධනය සඳහා පසට පෝෂක සපයන ද්‍රව්‍ය වේ. ඒවායින් පරිසරයට හෝ මනුෂ්‍යාට හානියක් නැත. විශේෂයෙන් සමහර ගොවීන් සියලු කෘෂි රසායන යොදමින් වගා කළ ද, ඔවුන් ඒවා ආහාරයට නොගන්නා අතර ඔවුන්ගේ පරිභෝජනය උදෙසා වෙනමම වගා කොටසක් ‘කාබනික ගොවිතැන’ ලෙස පවත්වාගෙන යන බව නොරහසකි. එසේනම් කාබනික පොහොර විප්ලවය කිසි ලෙසක ආපසු හැරවිය යුතු නැත.

දිවයින කතුවැකිය…

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස