රනිල්ට වඩා ගෝඨාගේ ගමන රටට විනාශකාරියි…! මේ තරම් විනාශයක් රනිල් කළේ නෑ….! – අනුර…

June 8, 2021 at 7:31 am | by emanisa.lk

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහට යා නොහැකි වූ මාවතේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගමන් කරමින් සිටින බවත් එහි දී ඔහුගේ වේගවත්භාවය සහ විනාශකාරීත්වය නිසා ඔහුට එල්ල වී ඇති විවේචන ප‍්‍රබල වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“මේ රට ගොඩනැගීම සඳහා වූ ප‍්‍රධාන ප‍්‍රවේශයන් 3කට අපි අවතීර්ණ විය යුතුයි. පළමු ප‍්‍රවේශය අර්ථික වර්ධනය අත්පත් කරගැනීම හා ආර්ථික සාධාරණත්වය අත්කර ගන්නා නව ආර්ථික උපායමාර්ගයකට මුල පිරිය යුතුයි. දෙවනුව සමාජයට යුක්තිය හා සාධාරණත්වය කැඳවා ගෙන එන සමාජ රාමුවකුත්, තුන්වනුව පවතින දූෂිත දේශාපලන රාමුව වෙනුවට අදූෂිත දේශපාලනයකුත් හඳුන්වා දිය යුතුයි. මේ බල කණු 03 නිශ්චිත පරිදි ස්ථාපනය කළ හැකි වුණොත් නියත වශයෙන්ම මේ රට ගොඩනැගිය හැකියි. එවැනි රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් එකතු විය යුතු යුගයකට අපි පැමිණ සිටිනවා.

අපේ ජීවිත කාලය තුළ ඕනෑවටත් වඩා වැඩියෙන් මේ ආර්ථික උපායමාර්ගයේ අසාර්ථක බව කියවෙන අත්දැකීම් එකතු කරගෙන තිබෙනවා. මෙතෙක් අනුගමනය කළ ආර්ථික උපායමාර්ගය නිවැරදි බවට කිසිවෙකුටත් හෘදයසාක්‍ෂියට එකඟව පෙනී සිටින්න බැහැ. රටකට, ආර්ථිකයකට විය හැකි සියලු ම පන්නයේ විනාශයන්ට ගෙවුණු වසර 70කට වැඩි කාලය තුළ මේ රට ඇද දමා තිබෙනවා.

විශේෂයෙන් 70 මැද භාගයේ සිට ක‍්‍රියාත්මක වූ ආර්ථික උපාය මාර්ගය අපේ රටට වේගවක් විනාශයන් අත්කරදී තිබෙනවා. රජය නිශ්චිත කාර්යභාරවලින් ඉවත්කර නීති සම්පාදනයත් යටිතල පහසුකම් සැපයීමත් වෙනුවෙන් පමණක් සීමා කෙරෙනවා. ආර්ථිකය ඉල්ලූ‍ම සහ සැපයුම තරඟකාරිත්වය මත සංවර්ධනය වේවි කියන උපායමාර්ගය අනුගමනය කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පැවති ආර්ථික මර්මස්ථාන වසා දැමීම, විකුණා දැමීම නැත්නම් විකුණා වසා දැමීම සිදුකළා.”

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පෙරේදා ( 06) එම අදහස් පළකලේ එම පක්ෂය විසින් සංවිධානය කළ “විසඳුම මොකක්ද?” යන මැයෙන් ඔන්ලයින් සම්මන්ත‍්‍රණය ආමන්ත‍්‍රණය කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *