රටේ උපත් අනුපාතය වේගයෙන් පහළට..! නුදුරේ දීම බරපතළ ශ්‍රම හිඟයක්…!

October 4, 2023 at 12:29 pm | by emanisa.lk

තරුණ යුවළක් අලුත් දරුවන් බිහිනොකරන ප්‍රවණතාවක් දක්නට ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි පවසයි.

වෛද්‍ය රුවන් විජයමුණි මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමින් මෙම කරුණු අනාවරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇසූ පැනයකට පිළිතුරු වශයෙනි.

“මීට වසර දහයකට පෙර දිනකට දරුවන් 1000ක් ඉපදුණා. එය වසරක අගය දළ වශයෙන් 3,50,000ක් ලෙස තිබුණත් මේ වන විට එය ලක්ෂ තුන දක්වා පහත බැස තිබෙනවා. සෑම වසරකදී ම අපේ රටේ උපත් 3,000ත් 5,000ත් අතර ප්‍රමාණයකින් අඩුවෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් තරුණ යුවළක් ඉදිරි අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහිකිරීමේ ප්‍රතිශතය 2.1ක තිබිය යුතු නමුත් අපේ රටේ එය 1.9ක් දක්වා බැහැලා. දෙදෙනෙක් ඒ දෙදෙනා වෙනුවෙන්වත් තව කෙනෙක් බිහි නොකරන තත්ත්වයක් දැන් තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේදී කළ දිරිගැන්වීම්වලින් එම අනුපාතය 2.0 දක්වා වැඩි වී ඇතත් නියමිත අනුපාතයට ළඟා වී නෑ.

අපේ රටේ මරණ අනුපාතය වැඩිවෙමින් තිබෙනවා. වයෝවෘද්ධ ජනගහනය වැඩි වී තිබීම මේකට හේතුවයි. ඊට ත් වඩා ලොකු ගැටලුව ජනගහන පිරමීඩය බැරල් හැඩයක් ගැනීමයි. මේ පිරමීඩයේ පහළින්ම තිබෙන්නේ වයස 1-9ත් අතර සිටින දරුවන් සංඛ්‍යාවයි. මේ වගේ පියවරෙන් පියවර වයස් කාණ්ඩවලට අයත් සංඛ්‍යා එහි තිබෙනවා. ඉහළින් ම තිබෙන්නේ 60ට වැඩි සංඛ්‍යාවයි. මේ සංඛ්‍යා පිරමීඩයක හැඩය තිබුණොත් ඒ රටේ ජනගහනය හොඳ මට්ටමක පවතින බවට සැලකෙනවා. ඒත් අපේ රටේ ජනගහන පිරමීඩයේ පහළම කොටස උපත් අඩු නිසා සිහින් වෙලා. ඒ වගේ ම වැඩි පිරිසක් සිටින්නේ වයෝවෘද්ධ අයයි. වයස 20-45ත් අතර පිරිස ශ්‍රම බළකාය ලෙස සැලකෙන අතර එය දරු උපත්වලට වඩා වැඩි අගයක තිබෙනවා.

අපි දැන්ම ම ක්‍රියාත්මක වෙලා දරු උපත් වැඩි කළේ නැති නම් අපිට විශාල ශ්‍රම හිඟයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඉදිරි කෙටි කාලය තුළදී වැඩිම වුණොත් අවුරුදු හතරක් – පහක් අතර කාලයකදී ආර්ථිකය දියුණු වුණත් අපිට ශ්‍රම හිඟයකට මුහුණ දෙන්නට සිදුවෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *