ඉදිරි යල කන්නය සඳහා වී ගොවීන්ට සහන මිලට ලබා දීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇති යූරියා පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළකර ඇත.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ යූරියා පොහොර ආනයනය සඳහා ඩොලර් නොමැතිකම මත අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් මෙම ඉල්ලීම කර තිබිණි. ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.
ඉන්දීය රජය විසින් යූරියා පොහොර අපනයනය තහනම් කර ඇති නමුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවැති සාකච්ඡා අනුව ශ්‍රී ලංකාවට මෙම යූරියා පොහොර ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය රජය දැනුම් දී තිබේ.
මෙම පොහොර තොගය ඉදිරි සතියේදී ලංකාවට එවීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.