මුලතිව් මහේස්ත්‍රාත්ගේ තර්ජන කතා බොරු..! බිරිඳටත් හොරෙන් රට පැන්නේ පූර්ව සැලසුමකට..! ටිකට් බුක් කළේ ඇමරිකාවෙන්…! – CIDය කියයි…

October 12, 2023 at 9:13 am | by emanisa.lk

මුලතිව් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජාට සිය බිරියටත් නොදන්වා විදේශගත වී ඇත්තේ පූර්ව සැලසුමකට අනුව බව මේ වන විට සිදු කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය රජයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි.

මහේස්ත්‍රාත්වරයාට කිසිදු ජීවිත තර්ජනයක් හෝ වෙනත් තර්ජනයක් නොතිබූ බවත් එහි දී තහවුරු වී තිබේ.

විනිසුරුවරයා සැප්තැම්බර් 25 දින ඉන්දියාවට යාමට විදේශ නිවාඩු ඉල්ලුම් කර එය අනුමතව තිබියදී මෙසේ පූර්ව සැලසුමකට අනුව සැප්තැම්බර් 24 වැනි දින විදේශ ගත වීම කිසියම් සංවිධානාත්මක පිරිසකගේ සැලසුමක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවත් එම වාර්තාව සඳහන් කරයි.

තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලිසියට හෝ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර නොතිබුණු අතර සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කර මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24දා විදේශගතව තිබිණි.

මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ද පැවතිණි.

විනිසුරුවරයාගේ බිරිය, මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් ඩී.ප්‍රදීපන්, මුලතිව් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.යූ.පී. අමරතුංග, මුලතිව් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. ජී.එච්. එන්.කේ. තිලකරත්න, දිසා විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් කේ.එස්. ප්‍රේමන්, පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් කේ. ශිවකාන්තන්, මුලතිව් අධිකරණය භාර පොලිස් කොස්තාපල් එම්. මුදිසන්, මුලතිව් පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන සමරකෝන් සහ සඳරුවන්, මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් බී. සරවනරාජ්, විනිසුරුවරයාගේ අධිකරණ ආරච්චි ලෙස කටයුතු කළ පී. සුචිකාන්, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් එස්. ශිවකුමාර්, මුලතිව් අධිකරණයේ තෝල්කවරයා වන ජේ. ලින්ටන්රාජා මහත්වරුන්ගේ ප්‍රකාශ මෙම විමර්ශනයේදී සටහන් කර ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම පවසා ඇත්තේ මරණ තර්ජනයක් තිබුණු බවට විනිසුරු ටී. සරවනරාජා කිසිදු අවස්ථාවක තමන්ට පවසා නොමැති බවය.

විනිසුරුවරයා සැප්තැම්බර් 24 වන දින ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත. ඒ සඳහා එයාර් ඇරබියා ගුවන් සේවයෙන් ගුවන් ටිකට් පත් කුරුණෑගල අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු අමෙරිකානු දුරකතන අංකයක් මඟින් සිදු කර ඇති අතර එම දුරකතන අංකය ක්‍රියාත්මක නොවුණොත් නැවත ඇමතීම සඳහා කෙන්යානු දුරකතන අංකයක් ටිකට් පත් අලෙවි නියෝජිතවරයාට ලබා දී ඇත. ගුවන් ටිකට් පත් සඳහා ගෙවීම කල්මුණේ ප්‍රදේශයෙන් සිදු කර ඇත. ටිකට් පත ලබා ගෙන ඇත්තේ සාජා, නයිරෝබි, දිල්ලි හරහා ඔක්තෝම්බර් 12 දින යළි මෙරටට පැමිණීමට ලබා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *