මුදල් අමාත්‍යංශය අදත් මෙහෙය වන්නේ හිටපු සර්ව බලධාරියා! බදියුදීන්ට ආයතන 42ක් දුන්නත් සිංහල බෞද්ධ මට එහෙම දීලා නෑ! – බන්දුල

December 16, 2020 at 8:31 am | by emanisa.lk

2014 වර්ෂයට පෙර මුදල් අමාත්‍යාංශයේ සිටි සර්වබලධාරී නිලධාරියකු මෙහෙයවන පිරිසක් තවමත් එම අමාත්‍යාංශයේ රැඳී සිටින බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

‘ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍ය තමයි තාක්ෂණවේදය. මේ විෂය ධාරාව හඳුන්වා දෙනකොට මුදල් අමාත්‍යාංශය මට වෙන කිසිම අධ්‍යාපන ඇමැතිවරයෙක්ට නොදුන් වධයක් දුන්නා. මේක පළමුවැනි වතාවට තමයි මම හෙළිදරව් කරන්නේ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට හිතෙන්නේ නැත්නම් ඇමැතිට මොන දේ හිතුණත් කරන්න බැහැ. සල්ලි නැහැ කියනවා.

ඒ කාලේ මට අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික වගකීම උගන්වන්නේ කවුද? මුදල් අමාත්‍යාංශයේ භූතයෙක් කියලා අපහාස කරන්න හොඳ නැහැ. එයා සර්වබලධාරියෙක් විදිහට ඉඳලා තියෙන්නේ. ඒ සර්ව බලධාරියා ඒ කාලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික වගකීම මට උගන්වනවා. ඒකනෙ මට දැන් අධ්‍යාපන ඇමැතිකම දෙන්නේ නැත්තේ.

ඔහු විසින් මෙහෙයවන විශාල පිරිසක් මුදල් අමාත්‍යාංශය ඇතුළේ අදත් ඉන්නවා. ආණ්ඩු වෙනස් වුණාට ඒ අය ඉන්නවා. නැත්නම් මෙහෙම වෙන්න බැහැනේ. මීට පෙර හිටපු වෙළෙඳ ඇමැතිවරයා රිෂාඩ් බදියුදීන්ට ආයතන හතළිස් දෙකක් තිබුණා. ඉස්ලාම් ආගම ඇදහුවේ නැහැ කියලා මට එහෙම කරන එක හරි නැහැනේ. සිංහල බෞද්ධයෙක් හින්ද ද දන්නේ නැහැනේ මෙහෙම කරලා තියෙන්නේ.

ලක්ෂ හැටනවයක් ජනතාව ගෝඨාභයට ජනවරමක් දුන්නේ අපේ රටේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන්න. කවුරුහරි කෙනෙක් ඒකට ඉඩදෙන්නේ නැත්නම් ඒකට ඉඩදීලා අපි අකුළගන්න ලෑස්ති වෙන්න බැහැ නේ. ලණු අඹරලා, කරකවලා දෙන්නා වූ අය විසින් අතිගරු ජනාධිපතිතුමාවත්, අග්‍රාමාත්‍යතුමාවත්, පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන් නොමග යවනවා. කුමන ආණ්ඩුව යටතේ වුවත් මෙම නිලධාරී කෘත්‍යාධිකාරයක් ක්‍රියාත්මක වෙනවා.”

ටීවී දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *