මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට එකඟ වනු! නැත්නම් ප්‍රතිවිපාක විඳීමට සූදානම් වනු! – ඇමරිකාවෙන් ලංකාවට තර්ජනයක්…

July 8, 2019 at 11:52 am | by emanisa.lk

මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. යනු ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් බවය. එසේම ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු දැනට ප්‍රචාරය වෙමින් පවතින බවද තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ.

මේ අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදු වන බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. එහි ප්‍රතිවිපාක ලෙස දක්වා ඇත්තේ එම්.සී.සී. හරහා ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබී යාම හෝ තාවකාලිකව අත්හිටුවීමක් පිළිබඳවය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම හරහා ඉඩම් අයිතීන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හා පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ ඉඩම්වල කුලී ලබා ගෙන රජයේ ආදායම් ඉහළ දමා ගැනීමට හැකියාව පවතින බවද තානාපති කාර්යාල නිලධාරියා ප්‍රකාශ කර ඇති අතර අදාළ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස අමෙරිකානු තානාපති නිලධාරියා පවසා ඇත්තේ, මේ හරහා අමෙරිකාව ඉඩම් අයිති කර ගැනීමක් සිදු නොකරන බවයි.

කෙසේ නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර නොගන්නා බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා පැවසුවද පසුගියදා අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙක් යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ ඉඩම් හා වරාය නිරීක්ෂණය කරමින් සංචාරයක යෙදී තිබේ.

ඉන්දීය ආධාර යටතේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති පසුබිමක මෙලෙස අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙකු එම ප්‍රදේශයේ ඉඩම් පරීක්ෂාවක යෙදී ඇති අතර පලාලි ගුවන්තොටුපොළේ සිට අදාල ඉඩම් පරීක්ෂා කළ ස්ථානයට ඇති දුර කිලෝමීටර් 4 ක් බවයි වාර්තා විය.

කොළඹින් ලැබුණු දුරකතන ඇමතුමක් මත තමන් මෙම සංචාරයට අනුමැතිය දුන් බව යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුබ්‍රමනියම් මුරලිදරන් ප්‍රකාශ කළ අතර තමන්ට එම ඇමතුම ලබා දුන්නේ කවුරුන්දැයි හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කරන්නේ තානාපති කාර්යාලවල උපදෙස් අනුව නිලධාරීන්ට කටයුතු කළ නොහැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *