මැකො ගෝඨාට කේලම් කියලා මගේ ජීවිතේ අනතුරේ හෙළුවා! ගෝඨාගේ පුරවැසිකම ගැන විරෝධතා දැක්වීමත් වැළැක්කුවා! – මැතිවරණ කොමිසමේ හූල්

November 30, 2019 at 9:02 pm | by emanisa.lk

පසුගිය නොවැම්බර් 16 වෙනි දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට පෙරාතුව බරපතල මැතිවරණ වංචා සිදු වූ බව සහ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ තර්ජන හේතුවෙන් ඔවුන් බොහෝ දෙනා සිය ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටි බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසයි.

එමෙන්ම එවක ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවට ද ඔහු මැතිවරණ කොමිසමට චෝදනා කරයි.

ඔහු පවසන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විමසා බලනු වෙනුවට “එකම ප්‍රශ්නය” තමන් යයි ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට දැනුම් දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ජීවිතය අනතුරේ හෙලූ බවය.

නාම යෝජනා භාරදෙන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් විරෝධතාවක් මතු කිරීමට තමන් අදහස් කළ ද, වෙනත් පුද්ගලයන් විරෝධතා මතු කරනු ඇතැයි කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා සහ හිතවත් නීතිවේදීන් තමන්ට දැනුම් දුන් බවත් හූල් පවසයි.

මෙම චෝදනා පිළිබඳව කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත්තේ, ඒ අවස්ථාවේ තමන් කොළඹින් බැහැරව සිටින බැවින් අදාළ චෝදනා පිළිබඳව කොමිසමේ සාමාජික, ජනාධිපති නීතිඥ එන් ජේ අබේසේකරගෙන් ද විමසා බැලූ බවය.

එම චෝදනාවලට පිළිතුරු නොදිය යුතුය යන්න කොමිසමේ සාමාජික, නීතිඥ අබේසේකරගේ ද අදහස වූ බව සඳහන් කළ සභාපතිවරයා, මහාචාර්ය හූල් යනු කවරෙකු දැයි “ශ්‍රී ලංකාවේ හැම දෙනාම දන්නා” බවත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ, මහාචාර්යවරයා මතුකරන චෝදනාවල සත්‍යාසත්‍යභාවය ඉතිහාසය විසින් තීරණය කෙරෙනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස