මල් පුදා වැඳිය යුත්තේ පුස්සන්ට නොව බැසිල්ටයි…!

June 29, 2023 at 9:24 am | by emanisa.lk

2005 න් පසු බැසිල් රෝහණ රාජපක්ෂ තරම් ලංකාවට බලපෑම් සහගත දේශපාලනයක් කළ අන් කිසිවෙකු නැත. එහෙත් ඔහුගේ ඒ සියලු බලපෑම සිදු කළේ රටේ යහපත පැත්තට ය. ඔහු විසින් රටට කළ අයහපත මෙයැයි කියන්නට කිසිවක්ම නැත. චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් ශ්‍රීලනිප මූලස්ථානය ඉබි යතුරු පවා දමා තිබිය දී පක්ෂයක් පවා නොමැතිව ජවිපෙ සමග එකතු වී මහින්ද බලයට ගෙනාවේ බැසිල් රෝහණය. එහි ඔහු කොතරම් උපක්‍රමශීලි වූයේ ද කිවහොත්, ජනාධිපතිවරණයට දින කීපයකට පෙර චන්ද්‍රිකා විසින් මහින්ද ව පක්ෂයෙන් නෙරපා යැවූ ලිපිය පවා මහින්දගේ අතට නොයන ලෙසට බැසිල් ක්‍රියාමාර්ග ගෙන තිබුණේ ය. මන්ද එම ලිපිය මහින්දට ලැබුණේ නම් අපේක්ෂකයා ලෙස ඔහු දුර්මුඛ වනු ඇති බව සිතූ නිසා ය. කෙසේ හෝ මහින්ද බලයට ගෙන ඒමෙන් බැසිල් කළ පින නම් අද කවුරු කෙසේ කීවද ලංකාව ම එක රටක් ලෙස තිබීම හා යුද ගිණිදැල් නිවී යාම ය.

මහින්ද එන විට ලංකාව බිලියන 22 සොච්චම් ආර්ථිකයකි. එහෙත් බැසිල්ගේ දුර දක්නා නුවණ නිසා එම ආර්ථිකය මහින්ද යුගය අවසන් වන විට බිලියන 80ක් කළේ ය. ලංකාව නියම වශයෙන් ම නවීනත්වයට ගෙනාවේ බැසිල්ගේ දේශපාලන ආර්ථික පරිකල්පනය මතය.

එම කාලයේ විශේෂය නම්, බැසිල් ගම කේන්ද්‍රගත කළ ආර්ථිකයක් මෙහෙය වීම ය. ඔහු එසේ කළේ පණ්ඩුකාභය රජු අනුගමනය කරමිනි. ලංකාවේ ග්‍රාම රාජ්‍ය ඉස්මතු කළේ එරජු ය. ගම හැදීමෙන්, ගම නිෂ්පාදනය කරා ගෙනයෑමෙන් පමණක් මේ රට ජයගත හැකි ය. බැසිල්ගේ ආර්ථික රහස එය විය. එය අතිශය සාර්ථක විය.

මහින්ද යුගය යනු මෙරට ස්වර්ණමය යුගය වේ. එමගින් ඇති කළ සියලු ජයග්‍රහණ පසු පැමිණි සිරිසේන පාලනය මගින් විනාශ කර දැම්මේ ය. නැවතත් ඔහුට 2015 දී පක්ෂය අහිමි කරන අතර, මෙවර ඔහු අලුත් පක්ෂයක් නිර්මාණය කර එය ජයග්‍රහණය කරවන්නේ ය. ජනාධිපතිවරයෙකු හදන්නේ ය.

මෙවර ආර්ථික අර්බුදයට ද බැසිල් රෝහණ අනුගමනය කළ පිළිවෙල මදක් ඉවසුවේ නම් අප සදාකාලික වේදනාවකින් තොරවම අර්බුදය ජයගන්නේ ය. ඔහු 2021 වසරේ වසංගතය මැද ආර්ථික වර්ධනය 3.5% ගෙනාවේ යහපාලන කාලයේ අවසන පවා එය 2%ක් තිබිය දී ය. විශේෂයෙන් ම එසේ කළේ ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5 ක් ලෙස ඉතිහාසයේ වැඩිම එක බවට පත්කරමිනි. ඒ සඳහා බැසිල් රෝහණ දිවා රැ නොබලා වැඩ කළේ ය. කපා දැමූ බදු නැවත වරක් සුපර්ගේන් බදු ලෙස ලංකාවේ ඉහළ ම ව්‍යාපාරිකයින් 34 දෙනාගෙන් අයකර ගත්තේ ය. ඒ සාමාන්‍ය ජනතාවට කිසිදු බරක් නොදැනෙන ලෙසය. බැසිල්ට එරෙහි ව ව්‍යාපාරිකයින් මුදල් විසි කරන්නේ මින් පළිගැනීමට ය. ව්‍යාපාරිකයින් කොතරම් දක්ෂ ද කිවහොත් තම බදු අය කර ගැනීමට එරෙහිව සාමාන්‍ය ජනතාව ඔහුට එරෙහිව කුලප්පු කිරීමට සමත් විය. අවසානයේ ව්‍යාපාරිකයින් තමාගේ බදුබර ජනතාව මත දැමීමට ක්‍රමයක් සොයා ගත්තේ ය.

බැසිල් පන්සල් නොයෑම නිසා, බුදුපිළිම ඉදිරිපිට වැඳගෙන සිටිනා පින්තූර ප්‍රචාරය නොකරන නිසා ඇතැමුන්ට හා ඇතැම් භීක්ෂූන් වහන්සේට ඔහු දිරවන්නේ නැත. ඇත්තටම ඔහු නියම බෞද්ධයෙකු බව දන්නේ ඉතා කීප දෙනෙකි. වරක් ඔහු කීවේ, “මම පන්සලේ ආවාස ගෙට හැර අනිත් හැම තැනටම යනවා” කියා ය. එය පරම සත්‍යකි.

හොර ජාවාරමක් ලංකාවේ ජාතික සංඛ්‍යාත මින් මතු ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට රෝහණයන් විසින් 2022 අයවැය තුළ ලංකාවේ පළමු වරට යෝජනාව ගෙන එන්නේ ය. ඉන් මාධ්‍ය ආයතන සියල්ල ඔහුට එරෙහිව අවි අමෝරා ගත්තේ ය. කපුටු කාක් කීවේ ය. අනිත් අතින් එම අයවැයේ ම ගෙනා ඊළඟ යොජනාව නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා දැමී ය. ඉන් සිදුවූයේ පක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු බැසිල්ට එරෙහි වීම ය. පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට කටයුතු කිරීම ය. කෙසේ වෙතත්, උපක්‍රමශීලි බැසිල් කාටත් කලින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන්නේ ය. තමන්ට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුව අවශ්‍ය නැති බව ඔහු දන්නේ ය.

පාර්ලිමේන්තුවේ සිටිය ද බැසිල් කිසිදා එහි වරප්‍රසාද ගෙන ද නැත. වහන පර්මිට් නොගත එකම මන්ත්‍රී ඔහු ය. නිලනිවාස කිසිදා නොගත් ඇමති ඔහුය. මහජන මුදලින් රට සවාරි නොගිය එකම දේශපාලකයා ඔහු ය. මේ සියල්ල කළේ ප්‍රතිපත්තියක් ලෙස ජනතාව වෙනුවෙනි. එහෙත් ජනතාව වෙනුවෙන් සැබෑම සේවයක් කරන්නට ගොස් බැසිල් අත්කරගත් දේ කුමක්ද? නිකරුණේ බැණුම් ඇසීම ය. වරදක් නොකර වරදකාරයෙකු වීමය.

ජනතාව හරිනම් බැසිල්ට මල්තැබිය යුතු ය. ඒ ඔවුන්ගේ පැත්තේ සිට ගැනීම වෙනුවෙනි. එහෙත් අවාසනාවට නිකමුන්ට මල්තබන ජනතාව බැසිල්ට තාමත් ගසන්නේ ගල්විම කොතරම් දෛවෝපගත ද? ප්‍රශ්නය ඇත්තේ කොතනදැයි බලන්න.

මහින්ද පතිරණ…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස