මම ආවේ වැටුණු රට ගොඩගන්න මිස ඡන්ද කරන්න නෙමෙයි..! – ජනපති…

January 5, 2023 at 9:20 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (04) නිල වශයෙන් දැනුම් දී ඇත.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට බවත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැති බව ත් එජාප නායකයන් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කරුණ දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹදී ඊයේ සවස හමුවූ අවස්ථාවේදී ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දී දැනුම් දුන්නේ ය.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව දුරටත් කියා සිටියේ ය. එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත්වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා, ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේ දැයි දැනුම් දිය යුතුව ඇතැයි ද කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *