බිල වැඩි කළත් මාස 4ට ලංවීම පාඩුව කෝටි 2979යි…!

July 22, 2023 at 4:52 pm | by emanisa.lk

විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක පාඩුවක් ලබා ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

විදුලි බිල වැඩි කළත් ප්‍රමාද ගාස්තු වැඩිවීම සහ සහ උත්පාදන පිරිවැය සැලකිය යුතු වැඩිවීම සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇතැයිද එහි දැක්වේ.

එසේම මණ්ඩලයේ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාවූ මූල්‍ය පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි 2326ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පවසන වසර මැද මූල්‍ය වාර්තාව බැංකු ණය පොළී අනුපාත ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ ගල් අඟුරු මිල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස සෘජු උත්පාදන පිරිවැයද සියයට 55 කින් ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ අතර මෙම වසරේ මුල් මාස හතරේ දී විදුලිය බලය සඳහා වූ ඉල්ලුම පසුගිය 2022 වසරේ මුල් මාස හතර හා සැසඳීමේදී ගිගාවොට් පැය 4935 සිට ගිගාවොට් පැය 4516ක් දක්වා සියයට 22 කින් අඩුවී ඇතැයිද එහි සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී විදුලිය අලෙවියෙන් උපයා ගත් ආදායම රුපියල් කෝටි දහ අට දහස් එකොළහක් බව වසර රාජ්‍ය මූල්‍ය තත්ත්වය වාර්තාව වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *