බාල තෙල් ගෙනැත් බැරලයෙන් ඩොලර් 30ක් ගසා කාලා…! විදුලි ඒකකයක මිල තවත් රු. 4කින් ඉහළට…!

September 28, 2022 at 8:17 am | by emanisa.lk

ඛනිජ තෙල් සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බොරතෙල් ලීටරයක් සඳහා අය කරන මිල රුපියල් තුන්සිය විස්සේ සිට රුපියල් 385 දක්වා හදිසියේ ම වැඩි කිරීම නිසා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටි 6000 ක පාඩුවක් සිදු වන්නේ යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසයි.

කොළඹදී ඊයේ (28) පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෙස්ට් කෝස්, කැලණිතිස්ස, සපුගස්කන්ද, කලම්බු බාජ් වගේම ඒස් ඇඹිලිපිටිය වැනි පෞද්ගලික බලාගාර සඳහා භාවිත කරන්නේ ලෝ සල්ෆර් දැවිතෙල්. දිනකට දැවිතෙල් ටොන් 2500ක් විතර අවශ්‍ය වෙනවා මේ බලාගාරවලට. විදුලි ගාස්තු සංශෝධනයට පෙර විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාවෙන් මේ දැවිතෙල් සැපයුණේ ලීටරය රු. 320ක මිලකට. හිටි හැටියේම පහුගිය 15 වැනිදා මේ දැවිතෙල් මිල 385 දක්වා ඉහළ දාලා තියෙනවා. මේ මිල ඉහළ දැමීම වහාම අවලංගු කරල පරණ මිලට ම ලංවිමට දැවිතෙල් දෙන්න කියල මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියල තියෙනවා. ඊට අදාළ ලිපිය අපි ළඟ තියෙනවා.

මේ දැවිතෙල් මිල ඉහළ යෑම නිසා විදුලි ඒකකයක මිල තවත් රුපියල් 4කින් විතර ඉහළ දාන්න වෙනවා. මේක වහාම නැවැත්විය යුතුයි. හදිසියේම ඛනිජ තෙල් සංස්ථාව ලංවිමට දෙන මේ දැවිතෙල් මිල ඉහළ දැම්මේ ඇයි? බාල වැඩක් කරල ඒ බාලකම වහ ගන්න කළ තවත් බාල වැඩක් මේ. බලශක්ති අමාත්‍යාංශය හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්වෙලා කරල තියෙන්නෙ බාල බොරතෙල් ගෙනැල්ල එයින් නිෂ්පාදනය කරන පෙට්‍රල්, ඩීසල් හා දැවිතෙල් භාවිතයට ගන්න බැරි වුණාම ඒ වැරැද්ද වහගන්න හත් පොලේ ගාගැනීමක්.

ලංකාවේ පිරිපහදුව හදල තියෙන්නේ ලයිට් කෲඩ් පිරිපහදුව සඳහා. මේ හොඳ තත්ත්වයේ බොරතෙල් වන සයිබීරියන් හා මර්බන් වැනි බොරතෙල් තමයි අපි ආනයනය කළේ. මේවා සාමාන්‍යයෙන් බාල බොරතෙල්වලට වඩා ඩොලර් 30ක් විතර මිලෙන් වැඩියි. නමුත් නිෂ්පාදනය කරන ඉන්ධන වර්ග අපේ බලාගාරවලට, අපේ වාහනවලට ගැලපෙනවා. ඛනිජ තෙල් අමාත්‍යාංශය මේ වන විට ආනයනය කරන්නෙ ඌරල් කියන රුසියානු බොරතෙල් වර්ගය. මේක ලෝක වෙළෙඳපොළේ බාලම ඉහළ සල්ෆර් සහිත බොරතෙල් වර්ගයක්. මෙයින් පිරිපහදු කරන දැවිතෙල්වල සල්ෆර් ප්‍රමාණය අධිකයි.

අපේ බලාගාරවලට ගැළපෙන්නේ සියයට 1.92කට වඩා අඩුවෙන් සල්ෆර් සහිත දැවිතෙල්. නමුත් මේ ඌරල් බොර තෙල්වලින් නිපදවන දැවිතෙල්වල සල්ෆර් ප්‍රමාණය සියයට 2කටත් වැඩියි. මේ තෙල් බලාගාරවලට හෝ කර්මාන්ත ශාලාවල පාවිච්චි කරන්න බැහැ. දැන් සංස්ථාව මේක වහගන්න දැවිතෙල්වලට ඩීසල් කලවම් කරල සල්ෆර් ප්‍රමාණය අඩුකරල ලංවිමට සපයනවා. මේ ඩීසල් කලවම් කරන වියදම හොයාගන්න තමයි දැවිතෙල් මිල රුපියල් 320 ඉඳන් 385 දක්වා හොර රහසේ වැඩි කළේ.

මේ වැඩිකිරීම නිසා ලංවිමට අවුරුද්දකට කෝටි 6000ක පාඩුවක් වෙනවා. නැත්නම් ඒ බර විදුලි බිල වැඩිකරල විදුලි පාරිභෝගිකයාට දාන්න වෙනවා. මේ වන විට ඌරල් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 68ක් පමණයි. අපි මෙතෙක් ගෙන්වූ හොඳ තත්ත්වයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් විතර. අපිට සැකයක් මතු වෙනවා ඩොලර් 68ට බාල බොරතෙල් අරන් 98ට ගත්තා කියල බිල් දාල බැරලයකින් ඩොලර් 30ක් විතර යටි මඩි ගැහැව්වාද කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස