බලවත් රටවල උවමනාවට රටේ ස්වෛරීත්වය පාවාදෙන්න සූදානම් නෑ….! බලය බෙදීම නමින් බෙදුම්වාදයට හිස ඔසවන්න ඉඩ දෙන්නෙත් නෑ….- ජනපති…

March 29, 2021 at 7:20 am | by emanisa.lk

බලය බෙදීම හරහා නැවත මෙරටට බෙදුම්වාදය ගෙන ඒමට බලවත් රටවල් උත්සාහ දරමින් සිටින අතර ඔවුන්ගේ භූ දේශපාලනික වුවමනාවන් ඉටුකරමින් රටේ ස්වෛරීත්වය පාවාදීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (27) මාතර පිටබැද්දර ප‍්‍රදේශයේ පැවැති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන අමතමිනි.

“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ හැම පිටුවකම කියන්නෙ ඒ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් දුන්න ප‍්‍රමුඛත්වය අඩු නිසා, කිසි තැකීමක් නොකළ නිසා තමයි නැවතත් මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. මූලික වශයෙන් ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුණා.

ඊළඟට ජාත්‍යන්තරයට ගිහිල්ලා ජිනීවාවලදි යෝජනාවලට සම අනුග‍්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය සහ නිදහස සම්පූර්ණයෙන්ම නැතිකරලා දැම්මා. අපි ඉල්ලා අස්වුණා ඒ සම අනුග‍්‍රහයෙන්. ඒකට ඒගොල්ලන් අපට විරුද්ධව වැඩකරනවා, ඒකට කමක් නෑ. අපිට මුහුණ දෙන්න පුළුවන්.

අපි නිදහස් රටක්. අපේ වැඩ අපට කරගන්න පුළුවන්, අපි නොබියව ඒවාට මුහුණ දෙනවා. වෙන රටවල්වල ඊනියා නව ලිබරල්වාදය පතුරුවන්න හෝ ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපට මැදිහත් වෙන්න අවශ්‍යතාවක් නෑ.

බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවන් ඉටුකරගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්නට අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *