මං කීවේ ජාත්‍යන්තර දේශපාලන බලවතුන් ගැන මිස ලංකාවේ පක්ෂ දේශපාලනය ගැන නෙමෙයි…! – කාදිනල්තුමා

April 19, 2021 at 6:06 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම නීතිපතිතුමාට පමණක් භාර දී අතසෝදා ගන්නට එපා යැයි රටේ බලවත් අයගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.

මේ ප්‍රහාරයට අනුබල හා අනුග්‍රහය දුන් අය ගැන සොයා නොබලා උඩින් පල්ලෙන් අතගාමින් පැලැස්තර අලවන්න ගියහොත් කොයිම දේශපාලන නායකයකුටවත් අන්තවාදී ව්‍යසනයෙන් රට මුදවාගැනීමට හැකිවන්නේ නැතැයි කාදිනල්තුමා අවධාරණය කළේය.

ඒ නිසා මෙය අතීතයේ සිදුවූ සිද්ධියක් ලෙස අමතක කර දමන්නට එපා යැයි රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව කාදිනල්තුමෝ කීහ.

තම බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල කළේ යැයි තමා සඳහන් කළේ වහාබ්වාදය දඩමීමා කරගෙන ක්‍රියාත්මක විය හැකි ජාත්‍යන්තර දේශපාලන කඳවුරු පිළිබඳ මිස ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනය පිළිබඳ නොවන බව ද කාදිනල් හිමි අවධාරණය කළහ.

කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *