නොමිලේ පාසලට බෙදන බස් හිසරදයක් වෙයි…! දෙමාපියන්ට බස් නඩත්තු කරන්නත් වෙලා..!

February 1, 2023 at 3:53 pm | by emanisa.lk

දේශපාලනඥයන් පාසල්වලට පරිත්‍යාග කළ බස් සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් මවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට ලක්වී ඇති බව විදුහල්පතිවරු පවසති.

මෙම බස් රථ සඳහා ටයර්, සර්විස්, ආදායම් බලපත්‍ර මෙන් ම රක්ෂණ ගාස්තු සඳහා වසරකට ලක්ෂ දෙකක් ඉක්ම වන අතර එම මුදල සොයා ගැනීමට දරුවන්ගෙන් අය කරන පහසුකම් ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බව ද ඔවුහු පවසති.

මේ වන විට පොතපත හා පාසල් උපකරණ පවා ගැනීමට මවුපියන්ට අසීරු වී ඇති අවස්ථාවක එම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද විදුහල්පතිවරු කියති.

එලෙස ලබාදුන් බස් රථ අධ්‍යාපන කටයුතුවලට අමතරව දේශපාලනඥයන්ගේ රැස්වීම් සඳහා පාක්ෂිකයන් ප්‍රවාහනයට යොදාගෙන ඇතැයි ද දේශපාලකයන් ලබාදුන් බස් රථ හේතුවෙන් එලෙස ඉල්ලීම් කරන අවස්ථාවල දී බස් රථ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ගැටලු සහගත බව ද විදුහල්පතිවරයෙක් සඳහන් කළේ ය.

සමහර පාසල්වලට ලබාදී ඇති ත්‍රිරෝද රථ විදුහල්පතිවරුන්ගේ නිවාසවල තබාගෙන ඇති බවත් සමහර ත්‍රිරෝද රථ නඩත්තු නොකිරීම හේතුවෙන් දිරාපත් වෙමින් පවතින බව ත් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය විය.

එමෙන් ම, පාසල්වලට ලබාදුන් සමහර බස් රථ එක ම ස්ථානයක වසරකටත් වඩා වැඩි කාලයක් කිසිදු කටයුත්තකට යොදා නොගෙන ගාල් කර ඇති බවත් සමහර බස් රථවලින් ගුරුවරුන් පෞද්ගලික උත්සව සඳහා සහභාගි වීමට පමණක් යොදාගෙන ඇති බව ත් අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *