ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු හඳුන ගන්න විදිහක් නෑ…! කිසිම රටක් ඒ තොරතුරු දෙන්නේ නෑ…! – ගම්මන්පිල…

October 25, 2022 at 3:15 pm | by emanisa.lk

මෙරට පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10ට වඩා සිටිහ හැකි නමුත් ඒ කවුරුන්දැයි දැන ගැනීමට ක්‍රමවේදයක් නැතැයි හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මෙරට මැති සබයේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි කිවහැකි ලැයිස්තුවක් කිසිවෙක් සතුව නොමැති අතර, තමන් වෙනත් රටක පුරවැසියෙකු බව අදාළ අය විසින්ම ස්වේච්ඡාවෙන් ප්‍රකාශ නොකළොත් ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීමේ කිසිම ක්‍රමවේදයක් ආණ්ඩුවට හෝ අනෙක් මන්ත්‍රීවරුන්ට නොමැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

2015 වසරේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුවීම තහනම් කළ අවස්ථාවේ නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන දෙමළ ජාතික සන්ධානමන්ත්‍රීවරු 10 ක් සහ ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ශ්‍රී.ල.නි.ප ඇමතිවරයෙකු සිටින බවත් ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු තමන්ට පැවසූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔවුන් සම්බන්ධයෙන් වෙබ් අඩවිවලින් සහ එම රටවලින් තොරතුරු සොයාගැනීමට උත්සාහ කළත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ හෝ තුන්වන පාර්ශ්වයකට ලබා දෙන්නේ නැතැයි ද හිටපු අමාත්‍ය ගම්මන්පිල කීවේය.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිවුදෙනෙකු හැර අන් සියළුම දෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ 20 වන සංශෝධන සම්මත වීමට පෙර බැවින් දැන් පාර්ලිමේන්තුවේ සිටින බව කියන ද්විත්ව පුරවැසියන් ද්විත්ව පුරවැසිකම සඟවා වංචනිකව පාර්ලිමේන්තුවට ආ අය බවත්, ඔවුන් එය හෙළි කරනු ඇතැයි කවුරුන් හෝ සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් කී උදය ගම්මන්පිල, ද්විත්ව පුරවැසියන් අල්ලා ගැනීමට උපක්‍රමයක් සෙවිය යුතු බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *