ජාතික එකඟතා ආණ්ඩුවකට බැසිල් විමල් පාර්ශ්ව එකඟයි…! ඒකබද්ධ නිවේදනය අද පස්වරුවේ…!

May 2, 2022 at 4:18 pm | by emanisa.lk

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද(02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි .

ඒ අනුව ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඇමති මහාචාර්ය ජී එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ඇමති රමේෂ් පතිරණ, මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ද සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

දෙපාර්ශ්වයේ එකඟතාව මත මීට අදාළ ඒකාබද්ධ නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කිරීමට ද එහි දී තීරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *