ජනාධිපතිට මැතිවරණ කල් දාන්න කිසිම බලයක් නෑ…! – නාමල්…

February 23, 2024 at 11:41 am | by emanisa.lk

ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල් දැමීමට බලයක් ලබා දී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජක්ෂ මහතා පවසයි.

ව්‍යවස්ථානුකූලව මේ රටේ මැතිවරණ පැවැත්විය යුතු බවත් ව්‍යවස්ථානුකූලව ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, කැලණි රජමහා විහාරය වැඳපුදා ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

“ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන්න බලය ලැබෙනවා. කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කළත් අපි කලබල විය යුතු නැහැ. අපි සියලුදෙනා ව්‍යවස්ථාව විශ්වාස කරනවා.

පසුගිය කාලේ අරගල කළෙත් ව්‍යවස්ථාවට විරුද්ධව ගිහින්. අපි මේ රටේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කළේ ව්‍යවස්ථානුකූලවයි. අපි හැමදාම ව්‍යවස්ථාව ආරක්ෂා කරපු දේශපාලන බලවේගයක්. අපි ඉදිරියේ දී ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැඳී සිටිනවා.

ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා හැමෝම කතා වෙනවා. මට දේශපාලනය මතක කාලේ ඉඳලා විධායක බලතල අහෝසි කරනවා කියලා අහල තියෙනවා.

අපේ තාත්තා ඇතුළු හැමෝම හැම මැතිවරණයකදීම ඔය ගැන පොරොන්දු දීලා තියෙනවා. තවම ඒ පොරොන්දු ඉෂ්ඨ වෙලා නැහැ. මැතිවරණ ක්‍රමයත් එක්ක තමයි විධායක බලතල බැඳිලා තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අවුරුදු 45කට වැඩි කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. ඒ මහතාට තිබෙන ලොකුම ආශිර්වාදය තමයි, ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරනවා කියා එදා එතුමා අපේ තාත්තට පවා චෝදනා කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *