ගෝඨාගේ තීන්දුවෙන් අක්කරයක අස්වැන්න 53%කින් පහළට….!

April 3, 2023 at 5:36 pm | by emanisa.lk

2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් එම කන්නයේ අක්කරයකට ලබා ගත් වී අස්වැන්න 53%කින් අඩු වූ බව මෑතක දී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනමත් සමග වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධව 2022 අවසාන කාර්තූවේ හා 2023 මුල් මාසය තුළ මෙම සමීක්ෂණය සිදු කරනු ලැබ ඇත.

මෙම සමීක්ෂණය යටතේ වී වගාව, එළවළු වගාව, අර්තාපල් වගාව හා මල් වගාව යන අංශ සම්බන්ධව සමීක්ෂණය මෙහෙයවා තිබේ.

ඒ අනුව, 2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමත් සමග මෙම සෑම අංශයක ම විශාල කඩා වැටීමක් මෙන් ම අස්වනු අවම වීමක් සිදු වී ඇති බව ද එම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

අර්තාපල් හා අනෙකුත් බෝගවර්ගවල අස්වනු සියයට 52කින් ද එළවළු වගාව සියයට 57කින් ද අස්වනු අඩු වී ඇති අතර සියයට 86ක් පමණ මල් වගාකරුවන් මල් වගාවෙන් ඉවත් වී ඇති බව ද අනාවරණය වී තිබේ.

මේ අතර බඩ ඉරිඟු සියයට 68ක්, ලොකු ළූණු සියයට 52ක්, අර්තාපල් සියයට 52ක් හා මිරිස් අස්වැන්න සියයට 43කින් පහත වැටී ඇතී අතර වැටකොළු වගාව සියයට 64ක්, තක්කාලි වගාව සියයට 62ක්, ගෝවා වගාව සියයට 61ක්, බෝංචි වගාව සියයට 54ක්, බණ්ඩක්කා වගාව සියයට 49ක්, හා වම්බටු වගාව සියයට 42කින් පහත වැටී ඇත.

රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් කාබනික පොහොර භාවිතය සියයට 57කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව, බඩඉරිඟු වගාවේ කාබනික පොහොර භාවිතය කළින් සියයට 5ක් වුව ද, පසුව එය සියයට 47 දක්වා ඉහළ ගොස් තිබේ. මිරිස් වගාවේ සියයට 32 සිට සියයට 67 දක්වාත්, ලොකු ළූණු වගාවේ සියයට 11 සිට සියයට 47 දක්වාත් කාබනික පොහොර භාවිතය නිසා අසවැන්න ඉහළ ගිය බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත.

කෙසේ වුව ද ගොවිතැන තුළ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික පොහොර මෙන් ම, කාබනික පොහොර ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත යෙදීම සිදු කළ යුතු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *