කොන්ද පණ තියෙනවා නම් ආණ්ඩුවෙන් එළියට යනු…! – පොහොට්ටුවට ලංසාගෙන් අලි ප්‍රහාරයක්…

October 27, 2023 at 9:44 am | by emanisa.lk

ඇමති මණ්ඩලය කියන්නේ ශ්‍රීලනිප ද, යුඑන්පී ද කියන එක නොවන බවත්, ඇමති මණ්ඩලය කියන්නේ සාමුහික ඇමති මණ්ඩලයක් බවද, එහි විෂයයන් ඕනේ කෙනෙකුට ඒහාට මෙහාට යන්න පුලුවන් බවත්, ශ්‍රීලනිපය ද පොහොට්ටු ද කියන එක අදාළ නැති බවත් නිමල් ලන්සා මහතා පවසයි.

ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක් බව ලන්සා මහතා කියා සිටී.

සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන ආකාරයට අමාත්‍යධූර සංශෝධනය වැරදි යැයි පවසනවානම් කාරියවසම් මහතාට ඒ පිළිබඳ අවබෝධයක් නොමැති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කිරීමත්, පෞද්ගලීකරණය කරන්න තියෙන ඇතැම් විෂයන් මුදල් අමාත්‍යාංශයට එකතු කිරීම නිවැරදි තීන්දුවක් බවත් ලන්සා මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

“ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්, සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ජාවකින් පසුවයි සිදු වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුණ එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශවලට වැඩ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්.

ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක්. සාගර කාරියවසම් ප්‍රකාශ කරනවා නම් අමාත්‍ය ධූර සංශෝධනය එහෙම නැතිනම් විෂයන් සංශෝධනය වැරදි විදියට කරලා තියෙනවා කියලා, එතුමට ඒ ගැන අවබෝධයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කිරීමත්, පෞද්ගලීකරණය කරන්න තියෙන ඇතැම් විෂයන් මුදල් අමාත්‍යාංශයට එකතු කිරීම නිවැරදි තීන්දුවක්.

ඒ අයට බලය තියෙනවා නම් සාගර කාරියවසම් ඇතුළු පිරිසට ඒ දේ පෙන්නන්න පුළුවන්. එක එක ඒවා කිය කිය ඉන්නේ නැතිව දැඩි තීන්දුවක් ගන්න පුළුවන්. විපක්ෂයට ගිහින් ඉඳගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕනේ ‍නැතිනම්, එතුමා ජනාධිපතිධූරයේ වැඩ කරද්දි මෙතුමන්ලා‍ එක්ක වැඩ කරන්නේ නැතිනම් සාගර කාරියවසම්ට පුළුවන් මාධ්‍යවල එක එක ඒවා කියන්නේ නැතිව ජනාධිපතිතුමා හමුවෙලා ජනාධිපතිතුමාගේ මූණට කියලා මේකෙන් අයින් වෙන්න. අපි තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා කියන්න.

සාගර කාරියවසම්ට අභියෝග කරනවා පුළුවන්නම් ආණ්ඩුවෙන් එලියට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියලා. ජනාධිපතිවරයා හොඳ නැතිනම්, ජනාධිපතිවරයා එක්ක වැඩි කරන්න බැරිනම් ජනාධිපතිතුමා එතුමලා කියන දෙ කරන්නේ නැතිනම් තමන්ට කැමති තීන්දුවක් ගන්න පුළුවන්. මාධ්‍යවල අදහස් දක්වන්නේ නැතිව තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමාත්‍යධූර කීයක් දුන්නද ? රාජ්‍ය අමාත්‍යධූර කීයක් දුන්නද ? විෂයයන් කීයක් දුන්නද ? ඒ කාලේ අමාත්‍යධූර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා එතුමට තේරුනේ නැද්ද ? එතුමට දැන් තමා ඒක තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඔය තනතුරු වෙනස් කිරීම්, කැබිනට් සංශෝධන ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හතර පාරක් වෙනස් කරලා තියෙනවා.

අවසාන කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එලියට දැම්මා. එදා කතා කලේ නැහැ නාමල් රාජපක්ෂ හෝ සාගර කාරියවසම්. එදා කතා කරන්න තිබුනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපෙන් අහන්නේ නැතිව කරපු එක වැරදියි කියලා. සම්පුර්ණයෙන් විරුද්ධයි කියලා කියන්න තිබුණා. එදා පූස් පැටව් වගේ හිටියේ.
අද කියනවනම් කිසිම තනරතුරක් වෙනස් කරලා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා එදත් කියන්න තිබුණා. එදා කිව්වේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් මහත්වරුන්ට බොරු බයිලා කියන්නේ නැතිව, අතීතය අමතක කරලා කතා කරන්නේ නැතිව පුළුවන්නම් මාත් එක්ක විවාදයකට එන්න. පසුගිය කාලයේ ඇමතිකම් වෙනස්කරපු ඒවා, විෂය වෙනස් කරපු දේවල්, තමන්ට වැඩි බලය ගත්තු හැටි, තමන්ට දෙද්දි කටවහගෙන හිටපු ඒවා ගැන කතා කරන්න.

ඇමති මණ්ඩලය කියන්නේ ශ්‍රීලනිප ද, යුඑන්පී ද කියන එක නෙමේ. ඇමති මණ්ඩලය කියන්නේ සාමුහික ඇමති මණ්ඩලයක්. ඒකේ විෂයයන් ඕනේ කෙනෙකුට ඒහාට මෙහාට යන්න පුළුවන්. ශ්‍රීලනිපය ද පොහොට්ටු ද කියන එක අදාළ නැහැ.

රට හරියට නොකිරීම තුළ තමා මිනිස්සු පෝලීම්වලට ආවේ. විදුලිය නැතිව මිනිස්සු හිටියා. ‍ගෑස් පොලිම්, බෙහෙත් ටික නැතිව හිටියා. ඉතින් එහෙම තිබුණු ආණ්ඩුවක් තමා මිනිස්සු එලියට ඇවිල්ලා පෙරලලා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරයට පත්වෙන්න අවස්ථාවක් ආවේ. නාමල් රාජපක්ෂලා ඒක කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. පොහොට්ටුව කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. ‍පොහොට්ටු ආණ්ඩුව හරියට නොකිරීම තුළින් සිදුවුණ දෙයක්.

අපිත් ඒ ආණ්ඩුව නියෝජනය කළා. අපි අවුරුදු 30 ක් ගොඩනගාගත්ත දේශපාලනය විනාශ වුනා. ආණ්ඩුව හරියට නොකිරීම තුළ. එතුමන්ලා තමා එදා නා‍යකයෝ. එතුමන්ලා තමා කැබිනට් අමාත්‍යවරු. එදා ජනතාවට සහන දුන්නනම් කබලෙන් ලිපට වැටිලා ජනතාව මහපාරේ ලක්ෂ ගානක් ඇවිල්ලා උද්ඝෝෂණය කරලා එලවන්නේ නැහැ අපේ ආණ්ඩුව. ඒක අද අමතක වෙලා නාමල් රාපක්ෂ මැතිතුමාට. ජනාධිපතිතුමා භාර අරන් තියෙන්නේ බංකොලොත් වුණ ආණ්ඩුවක්. මේ ආර්ථිකය තුළ නාමල් රාජපක්ෂ කියනවා වගේ සහන දෙන්න විදියක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපට උදව් කරලා ඒ අය නිර්නායක දීලා තියෙනවා. ආණ්ඩුව මේ විදියට ගියොත්, ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට අරන් ගියොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා.

කවුද අකමැති ජනතාවට සහන දෙන්න. අපි සියලු දෙනා කැමතියි. හැබැයි නාමල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යධූරයේ හිටපු ඒ ආණ්ඩුව රට බංකොලොත් කිරීම නිසා තමයි සහන දෙන්න බැරි. ඒක තේරෙන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතාට. රට සම්පුර්ණයෙන් ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, ජන ජීවිතය නැති කරලා අද නිකන් ඊයේ පෙරේදා ඉපදුන ළමයෙක් වගේ කතා කරන්නේ.

එතුමලට තීන්දු කරලා කැමති දෙයක් කරන්න පුළුවන්. ඉදිරියේ අයවැය එනවා. අය වැයට විරුද්ධව පුළුවන්නම් ඡන්දය දීලා එලියට යන්න. ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න යන්න පුළුවන්. මිනිස්සු එදාට උත්තරය දෙයි. නාමල් රාපක්ෂ මහතාටත්, සාගර කාරියවසම් මහතාටත් මට කියන්න තියෙන‍්නේ ඉදිරි අයවැය ලේඛනයට විරුද්ධ නම් එයට විරුද්ධ වෙලා ආණ්ඩුව පරද්දලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියන එක. අපි සියලු දෙනා ඒකට සූදානම්. මිනිස්සු ප්‍රතිඑලය පෙන්නයි ඒ අයට.

පාර්ලිමේනේතු‍‍වේ අයවැය ‍ලේඛනය පරද්දන්න මේ අය යන්නේ නැහැ. අයවැය ලේඛනය පරද්දලා මහ මැතිවරණයට යන්න බයයි. මේ අය පරද්දන්නේ නැහැ. පුළුවන්නම් ම‍ගේ අභියෝගය භාර ගන්න. ජනාධිපතිතුමා කියන දේ කරන්නේ නැතිනම් මේ අයට පුළුවන් මාධ්‍ය ඉස්සරහා එක එක දේවල් කියන්නේ නැතිව එළියට යන්න. කැබිනට් සංශෝධන හතරක් කළා ගෝඨාභය රාජපක්ෂ. මේ කවුරුත් ඒ වෙලාවේ කෑගැහැව්වේ නැහැ.

අද ජනාධිපතිතුමා කරලා තියෙන්නේ සංශෝධන දෙකක්. කැබිනට් ධූරයක් අඩුකරලා තියෙන්නෙ. රටේ මිනිස්සු ඉල්ලන්නේ අඩු කරන්න කියලා. ජනාධිපතිතුමා ඒක කරලා තියෙන්නේ. අදාළ අමාත්‍යාංශ වලට අදාළ විෂයන් හරියට දීලා තියෙනවා. ඒක වැරදි නම්, කොන්ද පණ තියෙනවනම් තමන් කියන දේ, තමන් විශ්වාස කරන දේ හරිනම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වට්ටලා ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට යන්න. ජනතාව බලාගෙන ඉන්නවා ඉක්මිනින් මැතිවරණයක් එනකන්.

ආණ්ඩුවේ බලය තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නම් එතුමන්ලට පුළුවන් මේ ආණ්ඩුව වට්ටන්න. ඒ අයට ඡන්දයට ගියාම තෙරේයි මහ පොළොවේ තියෙන යථාර්ථය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *