අපි කී දේ ආණ්ඩුව ඇහුවා නම් රටට මෙහෙම විනාශයක් වෙන්නේ නෑ! හොඳට මතක තියා ගන්න තව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 50ක් ඉන්නවා! – බොදුබල සේනා

May 10, 2019 at 8:24 am | by admin

රටේ ආරක්ෂිත තතත්වය සම්බන්ධයෙන් තම සංවිධානය පැවසූ කාරණා රජය සැලකිල්ලට ගත්තේ නම් නියපොත්තෙන් කැඩීමට තිබූ දේ පොරවෙන් කැපීමට සිදු නොවනු ඇතැයි බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරණ්දෙනියේ නන්ද හිමියෝ කොළඹදී පැවසූහ.

තවත් පනස් දෙනෙකුගේ පමණ මරාගෙන මැරෙන ත‍්‍රස්ත කණ්ඩායමක් සිටින බවට තම සංවිධානයට වාර්තා වී ඇති බව පැවැසූ උන්වහන්සේ තම සංවිධානය අනාවරණය කරන කරුණු පිලිබඳ දැන්වත් අවබෝධයෙන් සිටින ලෙසද රජයෙන් ඉල්ලීමක් කළහ.

රාජගිරිය පිහිටි බොදු බල සේනා මූලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

“පසුගිය 21 වැනිදා එල්ලවූ ඒ ම්ලේඡ්ඡ ප‍්‍රහාරයෙන් පසු ජනතාව තුළ හටගත් බිය තවම පහව ගොස් නැහැ. තවම රටේ ජන ජීවිතය යථා තත්වයට පත්ව නැහැ. මේ රටේ ආරක්ෂාව තවම තහවුරු වී නැහැ කියලා එයින් පැහැදිලි වෙනවා.

ජනපතිට අගමැතිට මේ ප‍්‍රහාරය පිළිබඳ හරි අවබෝධයක් නැහැ. මේක සුලුවෙන් තකන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේක සංවිධානාත්මකව රට තුළත් ජාත්‍යන්තරවත් ව්‍යාප්ත වූ භයානක ත‍්‍රස්තවාදී කණ්ඩායමක්. ඒ අනුව මෙම ත‍්‍රස්තවාදීන් මැඩලන්න රජය කටයුතු කළ යුතුයි.

2012 වසරේ සිට අපි වරින් වර මේ ත‍්‍රස්තවාදීන් පිළිබඳ කරුණු අනාවරණය කළා. නමුත් ඒ කිසිවක් ගැන ආරක්ෂක අංශ සැලකීමක් දැක්වූයේ නැහැ.

මේ සිදුවීමත් එක්ක පුපුරන ද්‍රව්‍ය, කඩු ආදිය එක්ක විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තත් ඔවුන් ඇප මත නිදහස්ව යන තත්වයක් පේන්න තියෙනවා. බෝම්බ, කඩු කිනිසි එක්ක අත්අඩංගුවේ පසුවන මේ පිරිස් මේවා තියාගෙන ඉන්නේ සංහිඳියාවටද කියලා අපි අහනවා.

දිගන සිදුවීමේ දී සිංහල තරුණයන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ අය අත්අඩංගුවට ගත්තේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේයී. එහිදී දවස් එකසිය ගණන් සමහර අය අත්අඩංගුවේ පසුවුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා විශේෂ සැලකීමක් මේ අයට දක්වනවා කියලා. මේ පිරිස් මේ පනත යටතේ අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා අපි විමසනවා.

බොදුබල සේනා සංවිධානය කියන්නේ ත‍්‍රස්තවාදී අන්තවාදී කණ්ඩායමක් නෙමෙයි. අපි කියන දේ පිළිබඳ රජය නොසැලකිලිමත් වූ නිසා නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන්න වෙලා තියෙනවා. බොදුබල සේනාව කියන කාරණාව කියන කාරණා පිළිබඳ දැන්වත් අවබෝධයෙන් කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

දැන් මේ ප‍්‍රහාරයෙන් මියගියේ නම දෙනෙක් පමණයි. තව පනස් දෙනෙක් පමණ මරාගෙන මැරෙන්න සූදානමින් ඉන්නවා කියලා අපි ආරක්ෂක අංශවලට ඉතා වගකීමෙන් පවසනවා. බොදු බල සේනාව කියු කාරණා මෙතෙක් වැරදිලා නැහැ. ඒ නිසා මේක හෑල්ලුවට ගන්න එපා කියලා” යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස