අනුබුදු මිහිඳු මාහිමි සිරිලක වැඩි පොසොන් පුන් පොහෝ දිනය අදයි!

June 16, 2019 at 7:52 am | by emanisa.lk

අප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්කම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මිහිඳු මාහිමියන් පෙන්වූ සම්බුදු මඟ යමින් ස්වකීය ජීවිත ආලෝකමත් කර ගැනීමට මේ ලිපිය ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමි.

සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වන්නේ අදවැනි පොසොන් පුන් පොහෝ දිනයකයි. බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මො‍හොතක මහරහත් ඵලයට පත් වූහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තසිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීය.

මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාවාසීන් පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය, උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේද භණ්ඩුක උපාසකද යන දූත පිරිස සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළ සේක.

තිස්ස තිස්ස යනුවෙන් තම නමින්ම අමතන්නට තරම් ජගතෙක් මේ මිහිපිට ඇත්දැයි රජු වටපිට බලද්දී මිහිඳු හිමියන්

සමනාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

අපි ධර්මරාජ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන් වෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් දඹදිව සිට වැඩම කළෙමු යැයි වදාළ සේක. මහින්දාගමනයට පෙරාතුව ධර්මාශෝක අධිරාජ්‍යයන් විසින් අරිට්ඨ නම් ඇමැතිතුමන් අත එවූ රජ පුද පඬුරු ලද දෙවනපෑතිස් රජු තෙරුවන ගැන යම් අවබෝධයක් අරිට්ඨ ඇමැතින් වෙතින් ලබා සිටි හෙයින් මිහිඳු හිමියන් එකත්පස්ව වැඳ නමස්කාර කොට පිළිගනු ලැබීය.

සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අසා වදාළ අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න ලක් ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැකිය. අනතුරුව දෙවන පෑතිස් මහරජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන පොසොන් පුන් පොහෝ දිනයක පිහිටුවන ලදි.

සුමන සාමණේරයන් ලවා දසදහසක් සක්වල දෙව් බඹුන් සවන් වැකෙන මානයට කාලඝෝෂා කරවා මේ ලක්බිමට කැඳවා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරු කොට ධර්ම දේශනා කළ පසු බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධයෙන්ද තවත් පිරිසක් මාර්ගඵලාවබෝධයෙන් ද සැනසීම ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයකය. සම්බුද්ධ නියමය අනුව උපාධ්‍යායන් වහන්සේලා පස් නමක අභිමුව භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදාවෙහි පිහිටුවමින් ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමද පොසොන් පුන් පොහෝ දින දී සිදුවිය.

තෙරුවන් සරණ ගිය හෙළ බොදු සිත් සදාකාලිකවම, පරපුරෙන් පරපුරට බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වෙහෙර විහාර, දාගැබ්, පිළිම නිමැවුම් කර්මාන්තයත් අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පයත්, අනේක විධ කලා ශිල්පත් සමාජ, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අපමණ අගයකුත් අප ජාතියට එක් කළෝ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේම වූ සේක.

පොසොන් පොහොය ගැනත් එහි ආගමික, ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු!

රාස්සගල චන්දකිත්ති හිමි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *