ලංකා විදුලිබල මණ්ඩලයේ පැවැත්ම උදෙසා විදුලි ඒකකයක් විකුණනු ලබන මිල එහි නිෂ්පාදන පිරිවැයට අනුකූලව තීරණය විය යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එම ප්‍රතිපත්තිය තමන් ද පිළිගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ නිල අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය සෘජුවම අඩු කිරීම රජයේ මූලික සැලසුම වන බවයි.
ඒ සඳහා දැනටමත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය කළ ජනාධිපතිවරයා, සුළං බලයෙන් මෙගාවොට් 70ක් දැනටමත් ආරම්භ කර ඇති අතර තවත් මෙගාවොට් 250ක ව්‍යාපෘතියක් සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන ඇති බව පැවසීය.
මීට අමතරව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ මෙගාවොට් 108ක ධාරිතාවයෙන් යුත් බැටරි ගබඩා පද්ධති ස්ථාන 16ක ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රුපියල් බිලියන 112.4ක දැවැන්ත වියදමකින් ඉදිවන රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස, මීට පෙර මෙරට පැවති ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ අතරමග නතර වී තිබූ එකක් බවයි. රජයේ ආර්ථික දැක්ම පිළිබඳව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ ඕනෑම බාහිර කම්පනයකට හෝ අර්බුදයකට නොසැලී මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවයි.
එසේම ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය වාර්තා කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බවත්, ජාතික ආදායම දශක තුනකට පසුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු මට්ටමකට ඉහළ නැංවීමට වත්මන් පාලනය සමත්ව ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.