IMF ණයක් නොගත්තොත් ඩොලරය රු. 300ට නගිනවා…! – රනිල්…

November 25, 2021 at 3:35 pm | by emanisa.lk

රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ලෝකයත් ශ්‍රී ලංකාවත් මුහුණ දී සිටින වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ රැකියාවලින් ඉවත් කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේ දී නොපනවනු ඇතැයි ද හිටපු අගමැතිවරයා එහි දී පෙන්වා දුන්නේය.

ලබන වසර මැද බිලියන 6 කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් රජයට නැතැයි ද රනිල් වික්‍රමසිංහ කීය.

එක්සත් ජාතික පක්ෂ නායකයා මේ බව සඳහන් කළේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ අද (25)පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක් අතරවාරයේදීය.

විදේශ විනිමය උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අවස්ථාවේදී මූල්‍ය අරමුදල වෙත ගිය විට අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද ශ්‍රී ලංකාවට ණය දීමට ඉදිරිපත් වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවද රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ය.

මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම යටතේ රුපියලේ අගය 240 ට තබාගත හැකි වුවද මූල්‍ය අරමුදල සමග ගනුදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 300 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස