Clean Sri Lanka යටතේ බුදු සසුන පිරිසිදු කළ යුතුයි… පොලු පාරින් ජීවිතේ බේරුණේ මහසෑයේ පිහිටින්…! – රාජාංගනේ සද්ධාරතන හිමි…

November 15, 2026 at 12:59 pm | by emanisa.lk

අනුරාධපුර රුවන්වැලි සෑ සිදුවීමේ තමන් වීරයෙකු නොවන බවත් තමන්ට පහරදීමෙන් පසු එම ස්ථානයට පැමිණ රුවන්වැලි මහා සෑයේ ගෞරවය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ අනුරාධපුරයේ දේශප්‍රේමී ජනතාවට එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුතු බවත් රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

එමෙන්ම තමන් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි අරගලයට මෙන්ම ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැවැති විරෝධතාවලට ද සහභාගී වූ බව සිහිපත් කළ එහිමියන්, මෙවර රුවන්වැලි මහා සෑය ඉදිරිපිට පැවැති විරෝධතාවට එක්වූයේ බුද්ධ ශාසනය විනාශ කරන බවට තමන් චෝදනා කරන පිරිස්වලට එරෙහිව හඬ නැගීමට බව ප්‍රකාශ කළහ.

තමන්ට එල්ල වූ පොලු ප්‍රහාරයෙන් බරපතළ තුවාල සිදුවූ බවත්, සුෂුම්නාවට එම ප්‍රහාරය එල්ල වූයේ නම් තමන්ගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ තිබූ බවත් පැවසූ රාජාංගනේ හිමියෝ, අද තමන් ජීවතුන් අතර සිටින්නේ රුවන්වැලි මහා සෑයේ ආශීර්වාදය නිසා බව ද සඳහන් කළහ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘Clean Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ රට පමණක් නොව බුද්ධ ශාසනය ද පිරිසිදු විය යුතු බව පැවසූ උන්වහන්සේ, චීවරය දරා සිටියත් නොසිටියත් දූෂිත පුද්ගලයන්ට එරෙහිව පියවර ගත යුතු බව අවධාරණය කළහ.

එමෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට අසාධාරණ ලෙස විවේචන එල්ල කිරීමට කිසිවෙකු උත්සාහ නොකළ යුතු බවත්, සාධාරණ විවේචන ඉදිරිපත් කිරීමට තමන් ද සූදානම් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස