අයවැය සජීවීව බලා පින්තූරවලින් තහවුරු කරන නියෝගය රජයේ එකක් නෙමෙයි… මගේ ආයතනවල නිලධාරීන්ට එහෙම නියෝගයක් නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස….

November 18, 2026 at 12:35 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ඉකුත් 12 වැනිදා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාව සියලුම මාණ්ඩලික නිලධාරින් ඇතුළු විධායක නිලධාරින්ට එක් ස්ථානයක සිට සජීවීව නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, එහි ඡායාරූප ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශය සිය ආයතන ප්‍රධානීන්ට දැනුම්දීම රජයේ තීන්දුවක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා අයවැය ප්‍රකාශය ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කරන ලද අවස්ථාව සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු විධායක නිලධාරීන් එක් ස්ථානයක සිට සජීවීව නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, එහි ඡායාරූප ගෙන ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) සුජීවා එස්.ගුරුගේගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ට යවා තිබූ ලිපිය සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටියහ.

මාධ්‍යවේදියා – ඔබතුමාත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නාද මේ විදිහට ඩිජිටල් තිරයක් හරි දාලා එක තැනක සිට අයවැය නරඹන්න කියලා?

ඇමැතිවරයා – ඕක රජයේ තීන්දුවක් නෙවෙයි. ඇත්තටම මම ඕක දන්නේ නෑ. දැන් තමයි මේක දන්නේ. මට ආයතන ගණනාවක් තිබෙනවා. ඒ කිසිදු ආයතනයක එවැනි දෙයක් සිදුකළේ නෑ. මම ඔය ගැන හොයා බලන්නම්. මොකක්ද වෙලා තියෙන කාරණය කියලා. වෙන කිසිම අමාත්‍යාංශයකින් මේ ගැන පැමිණිල්ලක් හෝ ලැබිලා නෑ, ඔබ කරුණු ඇතිව කියන දේ මම විශ්වාස කරනවා. මමත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාත් මේ වෙනකම් ඒ ගැන අවබෝධයක් නැහැ. රාජ්‍ය, පුද්ගලික හැම නාලිකාවකම අයවැය කතාව සජීවීව විකාශනය කළානේ. කාටත් ඒක බලාගන්න පුළුවන්කම තිබුණා. ආයේ අලුතින් බලවන්න දෙයක් නෑ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස