ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කිසිවෙකුට වත්කම් බැරකම් ප්‍රකාශවල සැඟවීමට කිසිදු හේතුවක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“අපි ඉදිරිපත් කරලා තියෙන සියලු වත්කම් බැරකම් ගිය අවුරුද්දේදී ජනතාව දැනගත්තා. ඒ වගේම මම දන්න හැටියට ඒවා අවශ්‍ය පරිදි අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකියාවක් පවතිනවා. ඒ කිසිවක් සීමා කරන්නේ නැහැ. මොකද අපි ඉන්නෙම මේ පාරදෘශ්‍යභාවය, වගවීම වැඩිකිරීම සඳහා. ඒකට තියෙන පනත් හා යාන්ත්‍රණ ශක්තිමත් කිරීම තමයි අපේ කාර්යභාරය.
අපට හංගන්න දෙයක් නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවේ ඇමතිවරු තමයි, තමන්ට තිබෙන සියලු දේවල් වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කරලා, ඉදිරිපත් කරලා ජනතාවට දැනගන්න සලස්වලා තිබෙන්නෙ. ඉතින් ඒ සමහර අය කලබල වුණේ, ඒවා වැඩියි වගේ කියලා, කලින් අය නොදීපු නිසා.
ඉතින් අපිට පරම්පරාවෙන් හිමිවෙලා තිබෙන දේපළක් තිබෙනවා නම්, ඉඩමක් තිබෙනවා නම් ඒක මේ මොහොතේ වෙළඳපොල වටිනාකමට තක්සේරු කරලා ඉදිරිපත් කරලා තියෙනවා. අපි නමට වාහනයක් තිබෙනවා නම් සමහර විට පක්ෂයේ වාහන අපේ නම්වලට තිබෙනවා. ඒවා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවාත් එක්ක තමයි සමහර වත්කම් වැඩිවෙලා තිබෙන්නේ. නමුත් අපි ඒවා ඉතාම සද්භාවයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා, ඕනෙ කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නැහැ, අපිට හංගන්න දෙයක් නැහැ.”