උතුරේ බෞද්ධ උරුමය රකින අරිසිමලේ හිමිගේ ජීවිතය අනතුරේ… මාලිමාණ්ඩුව ආරක්ෂාව ඉවත් කරයි…!

October 22, 2026 at 10:50 am | by emanisa.lk

වසර 22කට අධික කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන හා උරුමය ආරක්ෂා කිරීමට මහත් කැපවීමෙන් කටයුතු කළ නිසාම අන්තවාදී තර්ජනයට ලක්වූ මහා විහාරවංශික අමරපුර මහා නිකායේ අමරපුර සිරි සද්ධර්ම යුක්තික පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමිගේ ආරක්ෂාව ආණ්ඩුව විසින් ඉවත් කර තිබේ.

තිරිකුණාමලය ප්‍රදේශයේ වැඩ සිටිමින් නැගෙනහිර පළාතේ ආරණ්‍ය සේනාසන 38ක් සංවර්ධනය කළ උන්වහන්සේගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳ මහජන ආරක්ෂක නි. ඇමතිතුමා වෙත යොමු කරන ලද ලිපියක් පහත දැක්වෙයි.

ගරු සුනිල් වටගල මහතා,
නියෝජ්‍ය අමාත්‍යතුමා,
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය,
18 වන මහල, “සුහුරුපාය”,
බත්තරමුල්ල.

පිංවත් පොලිස් ස්ථානාධිපති තුමනි,

ජීවිත ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනුයුක්ත කර ගැනීම සම්බන්ධවයි.

මහා විහාරවංශික අමරපුර මහා නිකායේ අමරපුර සිරි සද්ධර්ම යුක්තික (මාතර) පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක, අරියවංශාවතංශ විනය කීර්ති ශ්‍රී ශිරෝමණී කම්මට්ඨානාචරිය, උතුරු නැගෙනහිර සාමග්ගි මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, අමරපුර මහා නිකායේ දිස්ත්‍රික් සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ත්‍රෛනිකායික එක්සත් භික්ෂු බලමණ්ඩලයේ ප්‍රධාන අනුශාසක, උතුරු-නැගෙනහිර සාමග්ග්‍රී මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, කුච්චවේලි ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී, පුරාවිද්‍යා ගවේෂක, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ මහෝපාධ්‍යාය පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවිරයාණන් වන මා අද වන විට අපගේ උරුමයන් රැක ගැනීම සඳහා මහත් ක්‍රියාදාමයක් ක්‍රියාවට නංවමින් පවතී.

මෙම ක්‍රියාදාමය තුළ මා හට ජීවිත තර්ජන රැසක් එල්ල වී ඇති බැවින් පසුගිය රජය මඟින් මාගේ ජීවිත ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂක ඒකකයට අනුයුක්ත කර ලබා දුන් සමීප ආරක්ෂක නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි 2026/10/12 වන දින මාගේ ආරක්ෂක රාජකාරියෙන් ඉවත් කරන ලදී.

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීමට ඉමහත් වෙහෙසක් දරන මා හට විරුද්ධව මේ වන විට අන්තවාදී සහ ජාතිවාදී කල්ලි කණ්ඩායම් විසින් ගරු අධිකරණයේ නඩු 15කට අධික ප්‍රමාණයක් ගොනු කර ඇති අතර, එම ක්‍රියාවලින් නොනවතින ඔවුන් වරින් වර මා වැඩම කරන අවස්ථාවන් නිරීක්ෂණය කරමින් සැලසුම් සහගතව හානියක් කිරීමට මාන බලමින් සිටින බව මා හට නිරන්තරයෙන් තොරතුරු දැන ගැනීමට ලැබී ඇත.

පසුගිය දිනක කින්නියා ප්‍රදේශයේ සිට පැමිණි මුස්ලිම් තරුණ පිරිසක් විසින් පිහි රැගෙන මා රැඳී සිටින විහාරස්ථානයේ වියරු ලෙස හැසිරෙන අවස්ථාවේදී මාගේ ජීවිත ආරක්ෂාවට සිටි සමීප නිලධාරීන් වහා ක්‍රියාත්මක වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වූ අතර, පැවති පොසොන් මහා පින්කම් අවස්ථාවේදී ද මග දෙපස දමා තිබූ කොඩි සැරසිලි කඩා ඉරා දමා කොඩි කණුද අස්ථානගත කරන ලද සිදුවීම් ද මාගේ ජීවිතයට ඇති අවදානම පිළිබඳ ආසන්නතම සිදුවීම් ලෙස පෙන්වා දිය හැක.

කරුණු එසේ හෙයින් මාගේ ජීවිතයට ඇති අවදානම් තත්ත්වය පිළිබඳ සලකා බලා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාගේ ජීවිත ආරක්ෂාවට ලබා දෙන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර මා හට පැවරී ඇති ශාසනික හා ජාතික වගකීම් අනුව උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර මඩකලපුව, අම්පාර වැනි ප්‍රදේශවලට ද වරින් වර වැඩම කිරීමට සිදුව ඇත. එම නිසා පවතින තත්ත්වය සලකා බලා අවි සමගම වෙනත් ප්‍රදේශවලට ද රැගෙන යා හැකි පරිද්දෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ලබා දෙන මෙන් මෙයින් සිහිපත් කර සිටින්නෙමු.

පිටපත්:- පොලිස්පතිතුමා

පනාමුරේ තිලකවංශ හිමි
ආසිරි කන්ද පුරාණ රජමහා විහාරය
අරිසිමල, පුල්මුඩේ, ත්‍රිකුණාමලය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස