ඥානසාර හිමිගේ සිවුර ගැලවීමට මහානාහිවරුන්ගේ දැඩි විරෝධය… භිෂ්ෂූත්වයට බාධා නොකරන්නැයි දැනුම් දෙයි…!

October 8, 2026 at 10:15 am | by emanisa.lk

අධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් චතුර්නිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇත.

එම ලිපියෙන් මහානායක හිමිවරු පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණමය ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට සිය ස්ථාවරය වන නමුත්, භික්ෂූන් වහන්සේනමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බව එමගින් අවධාරණය කරයි.

“භික්ෂූන් වහන්සේනමකගේ පැවිදි බව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලධිකාරිය ඇත්තේ අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට බවත්, ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එහි සඳහන් වේ.

බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසියට අනුව, වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතු අතර, වරදකරුවන් වීමට පෙර ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඉඩ දිය යුතුය. භික්ෂූන් වහන්සේනමක් සම්බන්ධයෙන් “වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම” වන්නේ චීවරය මිස ගිහි ඇඳුමක් නොවන බව මහානායක හිමියෝ පෙන්වා දෙති.

එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17(3) රීතිය ප්‍රකාරව, සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන සෑම අවස්ථාවකදීම ඔහුට තමාගේම පෞද්ගලික ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුම් ඇඳීමට අවසර දිය යුතු බවද මතක් කර දී ඇත.

එබැවින්, ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ද අඛණ්ඩව චීවරධාරීව (භික්ෂු භාවයෙන්) පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙසත්, බන්ධනාගාරය තුළ රැඳී සිටින කාල සීමාව තුළ භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවකාශ සලසන ලෙසත් මහානායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *