22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සජබ විරෝධතාවට ආත්මගරුත්වයක් ඇතිව යා නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ මෙම විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි නොවූයේ ඇයිදැයි මාධ්‍යවේදීන් ඊයේ (24) ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිණි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරෝධතාවට සම්බන්ධ වෙන්න ලැහැස්ති වෙලා හිටියේ. ඒත් ඉතාම අවාසනාවන්ත ආකාරයට සමගි ජන බලවේගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළා, විපක්ෂය අනෙකුත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ විය යුතු නැහැ කියන කාරණය. එහෙම තත්ත්වයක් යටතේ අපට ආත්මගරුත්වයක් තියාගෙන එතැනට යන්න බැහැ.
අපි හිතනවා මේක සමගි ජන බලවේගයේ හෝ විපක්ෂයේ විරෝධතාවක් නොවී රටේම විරෝධතාවක් විය යුතුයි කියලා. විපක්ෂයේ සක්‍රිය දේශපාලන පක්ෂයක් විදිහට අද විරෝධතාව සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සමගි ජන බලවේගයේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව එක් මන්ත්‍රීවරයෙක් එළියට ඇවිත් ප්‍රකාශයක් කළා. අද වෙනකල් විපක්ෂ නායකවරයා හෝ එහි වගකිවයුතු මන්ත්‍රීවරයෙක් ඒ ප්‍රකාශය හෙළා දැක්කෙවත් ඊට විරුද්ධව අදහසක් දැක්වුවේවත් නැහැ. මේකෙන් අපට පෙනී යන්නේ මේ ප්‍රකාශය සජිත් ප්‍රේමදාසගේ වුවමනාව අනුව කරපු ප්‍රකාශයක් බවයි.
සජිත් ප්‍රේමදාස මහතා ඉටුකරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවක්ද කියන සැකය අපිට තිබෙනවා. එතුමාට තිබෙන ප්‍රශ්නවලින් බේරෙන්න එතුමා මෙවැන්නක් කරනවාද දන්නේ නැහැ. කොහොම වුණත් අපි විපක්ෂය විදියට විසි දෙවැනි සංශෝධනයට විරුද්ධව රටේ ජනතාව කරන විරෝධතාවට හදවතින්ම ආශීර්වාද කරනවා. සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අපි දිගින් දිගටම විසි දෙවැනි සංශෝධනයට එරෙහිව අපේ විරෝධතාව දක්වනවා. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට එල්ල කරන දැඩි ප්‍රහාරයක් විදියටයි අපි මෙය දකින්නේ. ආණ්ඩුවට මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දීලා තියෙනවා. ඒ බලය අවභාවිත වෙන හැටි පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා අපි ඉදිරියට බලමු.”