හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත් නොවුණේ නම් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොලැබෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කරයි.
හිරු නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථක කර ගැනීමට රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම තීරණාත්මක වූ බවත්, ඔහු නොසිටින්නට එම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවත් හිටපු තානාපතිවරයා අවධාරණය කරයි.
තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තානාපති ධුරය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බව අද වන විට තහවුරු වී ඇති බව ද ඔහු පවසයි.
එම අවස්ථාවේදී තමා පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස සිටීමෙන් රටට සේවයක් කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත්, තානාපතිවරයා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුල්ම යෝජනාව ඉදිරිපත් කිරීමට තමාට හැකි වූ බවත් මහින්ද සමරසිංහ සිහිපත් කරයි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරටට ලබාදුන් තීරුබදු සහන පිළිබඳව සිහිපත් කළ මහින්ද සමරසිංහ, ඉදිරියේදී මෙරට ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවුවහොත් එමගින් ආර්ථිකයට යම් අවදානමක් ඇතිවිය හැකි බවද රජය විසින් ගනු ලබන තීරණ මත ජාත්‍යන්තර සහයෝගීතාව රඳා පවතින බව ද පෙන්වා දුන්නේය.