මේ වන විට රටේ දැඩි ඉඩම් හිඟයක් පැවතියද විහාර දේවාල සතුව අක්කර 12 000 දක්වා දැවැන්ත නින්දගම් ඇතැයි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කරයි.
“මන්ත්‍රීතුමා විමසන්නේ දේවාලයකට අයත් අක්කර එක්දහස් ගණනක ඉඩමක් ගැන. අක්කර එක් දහස් ගණනක් කියන්නේ මේ සම්බන්ධ ඉතා කුඩා ප්‍රමාණයක්. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථනවලට අක්කර 8500, අක්කර 12 000 දක්වා නින්දගම් මේ පනතින් ආවරණය වෙලා තියෙනවා.
ඒ නිසාම තමයි, මම කලිනුත් මතුකළේ, හැමදාමත් මම පිළිතුරු දීමේදී මේ කාරණාව මතු කරනවා. දැඩි ඉඩම් හිඟයකට මුහුණ දීලා තියෙනවා. දිට්වාවලට අපට ඉඩම් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අක්කර දහ දොළොස්දාහ මේ වගේ දේවලවලට වෙන්වෙලා තියෙනවා. මේ විසඳා ගැනීමට නම් මේ පනත (විහාර දේවාලගම් පනත) නැවත සලකා බැලිය යුතු වෙනවා.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ පුරාණයේ සිට රජවරු විවිධ අවස්ථාවල විහාර සහ දේවාල සඳහා ඉඩම් පරිත්‍යාග කර ඇති බවත් මේ ඉඩම් ජනාවාසකරණය සමග අයිතිය පිළිබඳ ගැටලු මතු වී ඇති බවත් ඊට බෞද්ධ කටයුතු අමාත්‍යංශය ලබා දෙන විසඳුම් මොනවාදැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.