රේගු වරදක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ල හවුස් ඔෆ් පැෂන් ආයතනයේ හිමිකරු වන ප්රීති ජයවර්ධන මහතා රේගු ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට සාක්ෂි නොමැති බව පෙනී යන්නේ යැයි කොටුව මහෙස්ත්රාත් පසාන් අමරසේන මහතා ඊයේ (22) විවෘත අධිකරණය හමුවේදී පැවැසීය.
රේගු නිලධාරීන් විසින් තම අධිකරණයට ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තා අනුව ඒ බව පෙනී යන නමුත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් නියෝගයක් දීමේ අධිකරණ බලය තම අධිකරණයට නොමැති බැවින් නිසි අධිකරණ බලය ඇති කොළඹ අංක හය අතිරේක මහෙස්ත්රාත් අධිකරණයට එම නඩු ගොනුව වහාම යොමු කරන ලෙසට ද මහෙස්ත්රාත්වරයා අධිකරණ රෙජිස්ට්රාර්වරියට නියෝග කළේය.
රේගු නිලධාරීන් සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් හා අධිකරණයට සැබෑ තත්ත්වය වසන් කිරීමෙන් බැවින් මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත්වරයකු විසින් පසුගිය 16 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ සිය සේවාදායකයාව ඇප මත මුදාහරින ලෙසට සැකකාර ප්රීති ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහෙස්ත්රාත් අධිකරණයෙන් පසුගිය 20 වැනිදා ඉල්ලා සිටියේය.
එකී ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඊයේ (22දා) පස්වරු 1.30 ට නිකුත් කිරීමට එදින දින නියම කළ අතර ඒ අනුව එම නඩුව ඊයේ (22දා) කැඳවිණි.
ඒ.ජේ.ඒ. අබේනායක
Divaina