මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සයිබර් අපරාධකරුවන් අතට පත්වූයේ දශක ගණනාවක සිට එම පද්ධතියේ පැවති දුර්වලතා නිසා බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
මෙය මෑතකදී පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිසා ඇතිවූවක් නොව, දීර්ඝ කාලයක සිට පැවති පරිපාලනමය හිස්තැන් නිසා සිදුවූවක් බවත් ඒ පිළිබඳ මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මේ පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කර නොතිබුණ ද, ශ්‍රී ලංකා CERT ආයතනය විසින් අදාළ ඊමේල් සර්වරයේ පැවති අනාරක්ෂිත බව පිළිබඳව මීට පෙර අනතුරු ඇඟවීම් කර තිබූ බව ද හෙතෙම අනාවරණය කළේය.
පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන තෙක් සියලුම ගෙවීම්වලට අදාළ ලේඛන භෞතිකව පරීක්ෂා කර නිවැරදිභාවය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.