කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා වයස අවුරුදු 75 සම්පූර්ණ වීමත් සමඟ, කතෝලික සභාවේ නීතියට අනුකූලව සිය ස්වකීය විශ්‍රාම ගැනීමේ ලිපිය පාප්තුම වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි.
ලෝකයේ ඕනෑම කතෝලික පදවියක රදගුරු නමක් වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගැනීමේ ලිපිය පාප්තුම වෙත භාර දීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත්, එම ලිපිය පිළිගැනීම සහ විශ්‍රාම ගැන්වීමේ දිනය තීරණය කිරීමේ පූර්ණ බලය එතුම සතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
පාප් වහන්සේගෙන් ඒ සඳහා අවසර ලැබෙන තෙක් කාදිනල් හිමිපාණන් සිය ධුරයේ වගකීම් තව දුරටත් අඛණ්ඩව ඉටු කරනු ඇත.
කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු භාවිත කරන බවට ඇතැම් පාර්ශ්ව සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
එවැනි ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය සහ ජනතාව නොමඟ යවන සුළු බවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා කාදිනල්තුමා දරන අවංක උත්සාහයට රදගුරු සම්මේලනයේ පූර්ණ සහය හිමිවන බවත් එහි වැඩි දුරටත් දැක්වේ.
පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් හෙළිදරව් කර ගැනීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට කාදිනල්තුමා සිදුකරන මෙහෙවර දේශීය මෙන්ම ජාත්‍යන්තර කතෝලික ප්‍රජාවගේ ඇගයීමට ලක්ව ඇති බව ද රදගුරු සම්මේලනය අවධාරණය කරයි.