අල්ලස් චෝදනාවක් මත පසුගියදා අත්අඩංගුවට ගත් සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ වෙත මීට මාස දෙකකට පෙර තම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා හමුවීමට එන ලෙස ආරාධනා කළ බවට වරුණ රාජපක්ෂ කළ චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ, පාතාල සබඳතා හා බැඳුණු මෙම අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද සහ බංකොලොත් වී ඇත්ද යන්න මෙමඟින් පැහැදිලි වන බවයි.
විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට වෙනත් පක්ෂවලට අවශ්‍ය වුවද, අපරාධකරුවන් තම පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
මෙවැනි සාවද්‍ය ප්‍රකාශ හරහා අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක් බව ජවිපෙ අවධාරණය කරයි.
අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් තම පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින බවත්, මෙම සාවද්‍ය ප්රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.