ෙහිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය
රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන අසනීප තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බිරිඳත්, ඔහුගේ පුත්‍රයාත් මේ වනවිට ප්‍රසිද්ධියේ කරුණු අනාවරණය කරගෙන තිබේ. ඔවුන් හෙළි කළ කරුණු අනුව බුද්ධි අංශ හිටපු ප්‍රධානීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව කිසිසේත් නිගමනය කළ නොහැකිය.
මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා මැලේසියාවේ රැකියාව කිරීමෙන් පසුව හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පාලන කාලවලදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස තම සේවය රටට සැපයීය. ඒ වකවානුව තුළදී කිසිඳු අවස්ථාවකදී සුරේෂ් සලේ මහතාට අද එල්ල කර තිබෙන ආකාරයේ චෝදනා ඉදිරිපත් නොවීය.
එල්ල කර තිබෙන චෝදනාවලට සම්බන්ධ හෝ වගකිව යුතු හෝ බව අද තිබෙන ප්‍රශ්නය නොවේ. අද ඇති ගැටළුව වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට සලකන ආකාරය පිළිබඳවය.
මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා රෝහල් ගත කිරීමෙන් පසුව ලැබෙන හැම තොරතුරකින්ම කියැවෙන්නේ ඉතාම අමානුෂික ආකාරයට ඔහුට සලකා ඇති බවය. අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට මේ ආකාරයට වද හිංසා පැමිණවීම සහ අමානුෂික ආකාරයට සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට එක හෙලාම පටහැනිය. එසේම 1966 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) උල්ලංඝණය කිරීමකි.
අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකුට සැලකිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට සහ ඉහත අන්තර්ජාතික සම්මුතියට අනුකූල වන අකාරයටය. එසේ නොවුනහොත් ප්‍රශ්නය මෙතකින් අවසන් නොවේ. මේ සිද්ධිය දැනටමත් ජාත්‍යන්තරය වෙත ද ගොස් අවසන්ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (Prevention of Terrorism Act – PTA) 9(ආ)(1) වගන්තිය අනුව, 1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමාන සහගත සැලකීම් හෝ දඬුවම් වැළැක්වීමේ සම්මුති පනත මඟින් ලබාදී ඇති ආරක්ෂාව සැකකරුට හිමිවන බව තහවුරු කිරීම මහේස්ත්‍රාත්වරයාගේ වගකීමක් යයි සඳහන්ය.
මේ අනුව පනතට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස සිදුකරන ඕනෑම ප්‍රශ්න කිරීමක් (interrogation) අධිකරණයට කරන අපහාසයක් (Contempt of Court) ලෙස සැලකිය හැකි අතර ඒ සම්බන්ධයෙන් නීතිමය වගකීම් මතු කෙරෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට සැලකීම එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකී. ජාත්‍යන්තරය පවා ගිය ප්‍රශ්නයක් බැවින් සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසුය.
මෙහි ඇති භයානක තත්ත්වයක්ද අපි දකිමු. සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇත. එය අතිශය භයානක ප්‍රවණතාවයකි. මාලිමා රජය බුද්ධ ශාසනය පාලනය කිරීමේ දැවැන්ත උත්සාහයක යෙදී සිටින මොහොතක මේ ප්‍රවණතාව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිවද ක්‍රියාත්මක වීමට පුළුවන. මේ සියලු තත්ත්ව එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
එක්සත් ජාතික පක්ෂය දැනුම් දෙන්නේ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවය. රජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය දැඩි සුපරීක්ෂාකාරීව සිටී.
එක්සත් ජාතික පක්ෂය
2026 ජූනි 09