රටින් හාල් ගෙනාවේ නැත්නම් වීවලට හොඳ මිලක් දෙන්න තිබුණා…! – ඩඩ්ලි සිරිසේන….

June 8, 2026 at 1:03 pm | by emanisa.lk

රජය විසින් විදේශයන්ගෙන් සහල් ආනයනය නොකළේ නම් මෙරට ගොවීන්ට සිය වී අස්වැන්න සඳහා රුපියල් 125ත් 130ත් අතර ඉහළ මිලක් ලබා දීමට ස්ථීරවම හැකියාව තිබූ බව ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

පවතින වී මිල සහ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 157,000ක් ආනයනය කර ඇති බවයි. මෙම සහල් ආනයනය හේතුවෙන් දේශීය වී මිල පහත වැටී ඇති අතර, ආනයනය සිදු නොකළේ නම් ගොවීන්ට සිය වී කිලෝවක් රුපියල් 125ක් හෝ 130ක් වැනි ඉහළ මිලකට අලෙවි කර ගැනීමට තිබූ අවස්ථාව මේ වන විට රුපියල් 100 දක්වා පහත වැටී ඇති බව ඔහු සඳහන් කරයි. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වර්තමාන මිල නියම කිරීම් අනුව නාඩු වී සඳහා රුපියල් 120ක්, සම්බා සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා සඳහා රුපියල් 130ක් ලෙස පවතින බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත්, නාඩු වීවලට සාපේක්ෂව සම්බා සහ කීරි සම්බාවල සහජයෙන්ම අස්වැන්න සහ බර අඩු බැවින්, එම වී වර්ග සඳහා දැනට ලබා දී ඇති මිල ප්‍රමාණවත් නොවන බව ඔහු පවසයි.

මේ හේතුවෙන් ගොවීන් සම්බා සහ කීරි සම්බා වගාව අතහැර නාඩු වගාවට පමණක් යොමු වන බවත්, එමඟින් වෙළඳපොළේ නාඩු සහල් අතිරික්තයක් නිර්මාණය වී එහි මිල තවත් පහත වැටෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සහල් මෝල් හිමියන් ලෙස තමන් කරන්නේ පවතින වී මිලදී ගෙන සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීම පමණක් බවත්, මිල පාලනය කිරීම හෝ නිෂ්පාදනය සමබර කිරීම පාලකයන් විසින් විසඳිය යුතු ගැටලුවක් බවත් ඩඩ්ලි සිරිසේන මෙහිදී අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස