සියල්ල මත ගහන බදු පිට බදු සිගරට්වලට අදාළ නෑ… පහුගිය මාස පහට බිලියන 17ක බදු සහනයක්…!

June 7, 2026 at 7:17 pm | by emanisa.lk

මෙරට සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහ ජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා පමණක් රජය විසින් 2026 වසර තුළ රුපියල් බිලියන 17.3ක සුවිශේෂී බදු සහනයක් (Tax break) ලබා දී ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් ප්‍රකාශ කරයි.

වෙරිටේ රිසර්ච් ආයතනයේ දත්ත විශ්ලේෂණයන්ට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව වඩාත්ම අලෙවි වන සිගරට් සන්නාමයක් සඳහා සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක බදු ප්‍රතිශතයක් පැවතිය යුතු වුවද, ශ්‍රී ලංකා රජය එම ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී තිබේ.

ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ සිගරට් සඳහා වන බදු අනුපාතය 2018 වසරේ සිට 66.8% දක්වා පහළ ගොස් ඇති බවයි ආචාර්ය නිශාන් ද මෙල් මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම 2021 වසරේ සිට 2026 දක්වා කාලය තුළ මෙරට වැට් බද්ද (VAT), සමාජ ආරක්ෂණ බද්ද සහ අනෙකුත් සියලුම වක්‍ර බදු වර්ග දරුණු ලෙස වැඩි කර තිබුණද, එම කාලසීමාව තුළ දුම්වැටි මත පනවා තිබූ බදු බර 7.6%කින් පහත හෙළීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස හානිකර සෞඛ්‍ය බලපෑම් එල්ල කරන දුම්කොළ කර්මාන්තයට සහනදායී බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *