මේ අවස්ථාවේදී රට ගැන සිතා ආනයන වියදම් අඩුකරගෙන ආණ්ඩුවට සහාය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.
“අපි 2025දී ආර්ථිකය වඩාත් හොඳින් ස්ථාවර කළා. ඊටපස්සෙ 2026දී අපි බලාපොරොත්තු වුණේ මේ ස්ථාවර කරපු ආර්ථිකය වඩාත් පුළුල් මට්ටමකට ගෙනියන්න. අපේ මධ්‍ය කාලීන ප්‍රතිපත්තිය. අපේ ආර්ථික වර්ධන වේගය 5%ක් 2025දී අත්පත් කරගත්තා. ඊටපස්සෙ මධ්‍ය කාලීනව මේ ආර්ථික වර්ධන වේගය 7%ක මට්ටමට ගෙනියන්න තමයි අපි සියලු සැලසුම් හදලා තිබුණෙ.
පැහැදිලිවම 2026 අවුරුද්දේ පළවෙනි මාස තුන ගත්තාම ඒ සියලු දර්ශක ඉතාමත් හොඳින් අපට ප්‍රතිඵල ලැබෙමින් පවතින අවස්ථාවක තමයි අපිට මේ අපි කවුරුත් නොහිතපු අවස්ථාවක මේ මැදපෙරදිග ලෝක යුද්ධයක් ඇතිවුණේ. ඒක ඉතින් අපේ පාලනයෙන් තොර කාරණයක්.
ඒ මැදපෙරදිග යුද්ධයත් එක්ක අපේ ආනයන වියදම, විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්ති වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්න වුණා. ඊට අමතරව නැව් ගාස්තු වැඩිවුණා. සියලු ආනයනවල පිරිවැය වැඩිවුණා. ඊටත් අමතරව වාහන ආනයනයට විශාල වශයෙන් ණයවර ලිපි විවෘත වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයකරන්න සිද්ධ වෙනවා. අපි රටක් හැටියට මේක පාලනය කරගන්න ඕනෙ. හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා හරි, වෙළඳපොල ස්ථාවරත්වය ඇතිකර ගැනීම තමයි මේකෙ ප්‍රධානම කාරණය වෙන්නෙ.
මේ අවස්ථාවේදී ක්ෂණිකව ආනයන වැඩිවුණා, එතකොට ඒකට යන වියදම් වැඩිවුණා. සමාජයේ මතයක් හැදුනා ඉදිරියේදී මෙන්න මේ ආනයන තහනම් වෙන්න පුළුවන් කියලා. එතකොට සමාජයේ විශාල අනියත බියක් ඇතිවුණා. එතකොට විශාල පිරිසක් වැඩියෙන් ආනයන කිරීම සඳහා ණයවර ලිපි විවෘත කරන්න ගත්තා. ඊට අමතරව අර ඉන්ධන සඳහා පිරිවැයට විශාල මුදලක් වැයවෙන්න ගත්තා. මේක ඇතුළෙදී අපේ රටේ ඩොලර් සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වේගයෙන් වැඩිවෙන්න ගත්තා. මේ කාරණය ඇතුළෙදී තාවකාලිකව රුපියලේ යම් අවප්‍රමාණය වීමකට ලක්වෙලා තියෙනවා.
මෙවැනි දෙයක් කොච්චර වුණත් ජනතාවගේ ක්‍රය ශක්තියේ සීමාවක් තියෙනවා, ඒ ක්‍රය ශක්තිය ඉක්මවා වියදම් කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ, ඒ නිසා ඉදිරියේදී යම් ප්‍රමාණයකට මේක ඉබේම පාලනය වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක සාර්ථක එකක් නෙවෙයි. මේකට ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. ශ්‍රී ලංකා මහබැංකුව මේකට ක්‍රියාමාර්ග රැසක් ගනිමින් ඉන්නවා. රජයක් විදියට අපි මේකට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් ඉන්නවා. ඊටත් අමතරව ජනතාවට මේ කෙරෙහි ස්වයං පාලනයක් ඇතිකරගන්න පුළුවන්. මොකද ජනතාවට මේ රට ගැන හිතලා, රටේ ඉදිරි අනාගතය ගැන හිතලා තාවකාලිකව මේ අවස්ථාවේදී තමන්ගෙ ආනයන ප්‍රමාණයන් සීමාකිරීමේ හැකියාවක් තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කෙටි කාලීනව පොඩ්ඩක් තමන්ගෙ ආනයන වෙනුවෙන් කරන වියදම අඩුකරලා මේකට අදාළ සහයෝගය ලබාදෙන්න කියලා.”
නිශාන්ත ජයවීර මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.