මාලිමා හෘදසාක්ෂිය අනුව ආණ්ඩුව දූෂිත නෑ… චෝදනාවලින් නිදහස් වන බව කලින්ම කියන්න පුළුවන් ඒකයි..! – නි. ඇමති සුනිල් වටගල…

May 18, 2026 at 12:06 pm | by emanisa.lk

වත්මන් රජය කිසිදු ලෙසකින් වංචාවට හෝ දූෂණයට හෝ සම්බන්ධ වී නොමැති බවත් තමන් සිදුකරන කටයුතු පිළිබඳව හෘද සාක්ෂියට එකඟව දැඩි විශ්වාසයක් පවතින බවත් එබැවින් චෝදනාවලින් නිදහස් වන බව පැවසීමට අයිතියක් ඇති බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ පැවැත්වුණු දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ රජයක් ලෙස කිසිසේත්ම වංචාවට දූෂණයට අත තබා නැති අතර මින් ඉදිරියට ද ඊට ඉඩ නොතබන බවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය බිමල් රත්නායක රේගුවෙන් බහාළුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ කමිටුව හමුවට කැඳවන ලෙස මෝසමක් ඉදිරිපත් කළ බවත්, ඒ පිළිබඳව කමිටුව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ වන විට සාක්ෂිකරුවන් හතර පස් දෙනෙකුගෙන් විමසා ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා අදාළ සිදුවීම්වලට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් නිකරුණේ ඔවුන්ව කමිටුව හමුවට කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව කමිටු බහුතරයේ තීරණය වී ඇති බවද ඔහු පැවසීය .

තමන්ට ලැබුණු ජනවරම අකුරටම ඉටු කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අතීතයේ සිටි දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය නොපැකිළිව කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට සහ වත්මන් මන්ත්‍රීවරුන්ට අදාළ පනත් ගෙන එමින්, තමන් වචනයෙන් නොව භාවිතාවෙන්ම ජනවරම ඉටු කරන ආකාරය පෙන්වා දී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *