මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 720 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ ගියද, රජය දැනට ඩීසල් ලීටරයක් රුපියල් 392 ක සහන මිලකට ජනතාව වෙත ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් රජය එක් ලීටරයකට රුපියල් 100 ක සෘජු සහනාධාරයක් දරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පවතින ආර්ථික අභියෝග පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති ආකාරය සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.
පෙබරවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වැයවූ ඇමරිකානු ඩොලර් මිලියන 98 ක මුදල, මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා හය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙම තත්ත්වය හමුවේ ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, අතීතයේ මෙන් භාණ්ඩාගාරයට බරක් වන ලෙස තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම රටින් පිටතට ගලා යන විනිමය ප්‍රමාණය පාලනය කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට සීමා කිරීමේ අවශ්‍යතාවයක් ද පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනතාවට අනවශ්‍ය බරක් පැටවීම වැළැක්වීමේ අරමුණින් රජය උපරිම උත්සාහයක නිරත වන බවත්, විදුලි බිල ඉහළ දැමීමේදී පවා වැඩිම පිරිසකට බලපෑමක් නොවන පරිදි සියයට පහක පමණ සුළු පිරිසකට පමණක් එම බලපෑම සීමා කිරීමට කටයුතු කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය