හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නමින් වසර 25කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය “මහින්දානන්ද පදනම” සතු සියලු නිශ්චල සහ චංචල දේපළ අද (02) දින නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මෙම වටිනා වාණිජ ඉඩම සහ ගොඩනැගිලි පද්ධතිය මෙතෙක් මහින්දානන්ද පදනම විසින් පරිහරණය කරනු ලැබිණි.
එහිදී, පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ විසින් මෙම දේපළ යළි රජයට පවරා ගැනීමට ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ.
පදනමේ ලේකම් චාමික ධර්මතිලක පවසන්නේ, නාවලපිටිය තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ “සදහම් සුවඳ” සීල භාවනා වැඩසටහන සඳහා මෙම භූමිය ලබාදීම, බදු ගිවිසුම් උල්ලංඝනය කිරීමක් (අනවසර භාවිතයක්) ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හඳුන්වා දී ඇති බවයි.
එම නියෝගයට ගරු කරමින්, 2028 දක්වා බදු ගිවිසුම් කාලය ඉතිරිව තිබියදීත් දේපළ භාර දීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් එම ස්ථානයට පැමිණි අතර, පදනමේ ලේකම්වරයා විසින් නිල වශයෙන් යතුරු සහ දේපළ ලේඛන ඔවුන් වෙත භාර දී තිබේ.